විශේෂයෙන්ම ප්‍රකට ඔස්කා සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය නියෝජනය කරන ආසියානු සිනමා නිර්මාණ සඳහා, ඔස්කා උළෙලට පෙරාතුව සිය කුසලතා දක්වන්නට මෙම සිනමා උළෙල හරහා සුවිශේෂී ඉඩකඩක් සැලසේ.
මෙවර නොවැම්බර් 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම සිනමා මංගල්‍යයේදී ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මෙන්ම සමස්ත දේශීය සිනමා ක්ෂේත්රයටම ආඩම්බර විය හැකි පුවතක් වාර්තා වේ. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ 'රිවර්ස්ටන්' සිනමාපටය මෙවර උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටීමයි.
ආසියානු කලාපයට අයත් ස්වෛරී රාජ්‍යයන් 48 ක් සහ විශේෂ පරිපාලන කලාප 3 ක් ඇතුළත් සමස්ත රටවල් 51 අතුරින්, 2027 වසරේ පැවැත්වීමට නියමිත 99 වෙනි ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් චිත්‍රපට ඉදිරිපත් කිරීමට රටවල් 31 ක් සමත්විය. එකී රටවල් අතුරින් මෙවර ලොස් ඇන්ජලීස් ආසියානු සිනමා උළෙල නියෝජනය කිරීමේ වරම් හිමිකරගෙන ඇත්තේ රටවල් 25 ක විශිෂ්ට සිනමා නිර්මාණ 25 කි.
මෙම සිනමාපට 25 න් 10 ක් තරගකාරී නොවන අංශ යටතේ තිරගත වන අතර, 'රිවර්ස්ටන්' ඇතුළු ප්රබලතම සිනමා නිර්මාණ 15 ක් උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කරමින් රන් සම්මාන උදෙසා තරග වදී.
ශ්‍රී ලංකාවට අමතරව චීනය, ඉන්දියාව, මැලේසියාව, තුර්කිය, පිලිපීනය, තායිවානය, ඊශ්‍රායලය, වියට්නාමය, කසකස්ථානය, මොංගෝලියාව, පකිස්ථානය, බංගලාදේශය, සිරියාව සහ පලස්තීනය යන රටවල් නියෝජනය කරන ඔස්කාර් තේරීම්, මෙවර ප්‍රධාන තරගකාරී අංශයේදී එකිනෙක ගැටීමට නියමිතයි.
එහිදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම නිළිය, විශේෂ ජූරි සම්මානය සහ ප්‍රේක්ෂක සම්මානය යන ප්‍රධාන සම්මාන 06 පිරිනැමෙනු ඇත. මේ අතර දකුණු කොරියාව, ජපානය, සිංගප්පූරුව, නේපාලය, තායිලන්තය, කාම්බෝජය, ඉරාකය, කිර්ගිස්ථානය, ඉන්දුනීසියාව සහ ජෝර්දානය යන රටවල සිනමා නිර්මාණ උළෙලේ තරගයෙන් බැහැර වූ විශේෂ අංශ යටතේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණේ.
2015 වසරේ ආරම්භ වූ ලොස් ඇන්ජලීස් ආසියානු සිනමා උළෙල, 2022 තෙක් ඔස්කා සහ ගෝල්ඩන් ග්ලෝබ් නියෝජනය කරන සිනමාපට මෙන්ම ලොව ඉහළම පිළිගැනීමට ලක්වූ අන්තර්ජාතික උළෙලවල් නියෝජනය කළ නිර්මාණ සඳහාද විවෘතව පැවතුණි. ඒ අනුව 2017 වසරේදී සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' සහ 2021 වසරේදී ඔහුගේම 'ආසු' සිනමාපට මෙම උළෙල නියෝජනය කිරීමට සමත් වූණා.
නමුත් 2023 වසරේදී සංවිධායක කමිටුව විසින් හඳුන්වා දුන් නව නීතිරීතිවලට අනුව, ප්‍රධාන තරගකාරී අංශයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන්නේ ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන සිනමා නිර්මාණවලට පමණි. ඒ අනුව, නව නීති යටතේ ඔස්කාර් උළෙල නියෝජනය කරමින් ආසියානු ලෝක සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරී වටයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමාපටය ලෙස 'රිවර්ස්ටන්' ඉතිහාසයට එක්වේ.
ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ නිෂ්පාදනය කළ, ලලිත් රත්නායකගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් හැඩ වූ "රිවර්ස්ටන්" සිනමාපටය මෙම අන්තර්ජාතික උළෙල වෙත ඉදිරිපත් කරමින් සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ උදිත කහඳවආරච්චි විසිනි. ආසියානු කලාපයේ හොඳම සිනමා නිර්මාණ 15 අතරට එක්වෙමින් මෙලෙස ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කිරීමම විශාල ජයග්‍රහණයකි.
ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී ඇගයීමට ලක්වෙමින් සම්මාන රැසක් දිනාගත් 'රිවර්ස්ටන්' සිනමාපටයට, නොවැම්බර් 19 වෙනිදා පැවැත්වෙන අභිමානවත් සම්මාන රාත්රියේදී ආසියානු සිනමා කිරුළ හිමිවේදැයි මුළු මහත් ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ම දැඩි උනන්දුවෙන් සහ බලපොරොත්තුවෙන් පසුවෙති.