ටූලූස් (ප්‍රංශය): කාර්යබහුල බවත් සැහැල්ලුවත් එකට මුසු වූ රෝස පැහැති නගරය
ප්‍රංශයේ වේගයෙන්ම වර්ධනය වන නගරයක් වන ටූලූස්, සංචාරකයින්ට එකවර අත්විඳින්න අමාරු වෙනස්ම පරිසරයක් තිළිණ කරනවා. මෙහි ඇති විශේෂත්වය තමයි නගරයක ජීවිතය එක්ක ඉතා සැහැල්ලු ජීවන රටාවක් මුසු වී තිබීම. අලංකාර කැෆේ සංස්කෘතිය, රසවත් ආහාර සහ වයින් අත්දැකීම් වගේම ගුවන්යානා තාක්ෂණයට ප්‍රසිද්ධ Airbus මූලස්ථානය පිහිටා තිබෙන්නෙත් මෙහෙයි.රෝස පැහැති ගඩොල් ගොඩනැගිලි නිසා "Pink City" ලෙස හඳුන්වන ටූලූස්, පාපැදියෙන් හෝ පයින් ගොස් විඳගත හැකි නිදහස් සංචාරයකට කදිමයි.
හෝ චි මිං (වියට්නාමය): අතීත උරුමය සහ අනාගත දියුණුව හමුවන සන්ධිස්ථානය
වියට්නාමයේ විශාලතම නගරය වන හෝ චි මිං, නූතන දියුණුව සහ පාරම්පරික සංස්කෘතිය හරි අපූරුවට එකට පවත්වාගෙන යන නගරයක්. අලුතින්ම ආරම්භ කළ කිලෝමීටර් 20ක මෙට්‍රෝ දුම්රිය මාර්ගය වැනි යටිතල පහසුකම් එක්ක නගරය වේගයෙන් නවීකරණය වෙනවා. ඒ අතරම, ප්‍රංශ කොලොනියල් ගෘහ නිර්මාණ ශිල්පය පෙනෙන මධ්‍යම තැපැල් කාර්යාලය, අතීත චයිනාටවුන් (Chợ Lớn) සහ ලෝක ප්‍රසිද්ධ Bánh Mì, Cơm Tấm වැනි වීදි ආහාර සංස්කෘතිය නගරයට එක් කරන්නේ අසමසම අලංකාරයක්.
වෝර්සෝ (පෝලන්තය): යුරෝපයේ සුරක්ෂිතම සහ ශීඝ්‍රයෙන් නැගී එන අගනුවර
ගෝලීය නගර දර්ශකයේ ස්ථාන 100කට වඩා ඉදිරියට පැමිණි පෝලන්තයේ වෝර්සෝ නගරය, දැනට ජීවත් වීමට ඇති හොඳම සහ සුරක්ෂිතම නගර අතරින් එකක්. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සම්පූර්ණයෙන්ම වගේ නැවත ගොඩනැගූ පැරණි නගරය සහ නවීන අහස උසට විහිදුණු ගොඩනැගිලි අතර වෙනස මෙහිදී දැකගත හැකියි. ඉතා අඩු මුදලකට රසවිඳිය හැකි පෝලන්ත පාරම්පරික Milk Bars වල ආහාර සහ Pączki ඩෝනට්ස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියයි.
මෙඩලින් (කොලොම්බියාව): කලාව සහ පරිවර්තනයේ පෙරළිකාරී නගරය
දශක කිහිපයකට පෙර පැවැති අඳුරු අතීතය පිටුපස දමා අද වන විට කලාත්මක සහ සංචාරක පාරාදීසයක් බවට පත්ව ඇති කොලොම්බියාවේ මෙඩලින්, ලෝකයේම අවධානය දිනාගත් නගරයක්. නගරයේ කඳුකර ප්‍රදේශ යා කරන Metrocable කේබල් කාර් පද්ධතිය සහ අතීතයේ භයානකම ප්‍රදේශයක් ලෙස පැවතී අද වන විට වර්ණවත් වීදි චිත්‍ර සහ සංගීතයෙන් පිරී ඇති "Comuna 13" කලාපය මෙහි විශේෂයෙන්ම නැරඹිය යුතු ස්ථාන ලෙස සැලකෙනවා.
අබුඩාබි (එක්සත් අරාබි එමීර් රාජ්‍යය): අනාගතවාදී හැඩය සහ සංස්කෘතික නිහඬතාව
ඩුබායි හි වේගවත් බවට වඩා තරමක නිදහස් සහ විවේකී පරිසරයක් සොයන අයට අබුඩාබි යනු අසමසම තේරීමක්. අධ්‍යාපනය, තාක්ෂණය සහ යටිතල පහසුකම් අතින් ඉහළම තැනක සිටින අබුඩාබි නගරය, සංස්කෘතික නගරයක් ලෙසද වේගයෙන් ගොඩනැගෙමින් පවතිනවා. සාදියාට් (Saadiyat) දූපතේ පිහිටි Natural History Museum, Zayed National Museum සහ ඉදිරියේදී විවෘත වීමට නියමිත Guggenheim Abu Dhabi වැනි ලෝක පූජිත කෞතුකාගාර මෙන්ම සුන්දර වෙරළ තීරයන් සහ වෙරළාශ්‍රිත කඩොලාන පද්ධති මෙහි එන සංචාරකයින්ට අලුත්ම අත්දැකීමක් ගෙන දෙනවා.