ads
Travel

පෝලන්තයෙන් සංචාරකයන් 550ක් රැගත් ගුවන් යානා 3ක් කටුනායකට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
2026/2027 ශීත ඍතු සංචාරක සමයට සමගාමීව, පෝලන්තයේ එන්ටර් එයාර් (Enter Air) ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ විශේෂ ගුවන් යානා තුනක් සංචාරකයන් 550කට ආසන්න පිරිසක් රැගෙන අද (06) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.
පෝලන්තයේ කැටොවිස්, පොස්නන් සහ වෝර්සෝ යන ප්‍රධාන නගර තුනෙන් පිටත්ව ආ මෙම යානා සහ සංචාරක පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය විදහා දක්වන සුන්දර සාම්ප්‍රදායික නර්තනාංගයන්ගෙන් පිරි විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද ගුවන් තොටුපොළේදී සංවිධානය කර තිබුණා.
අද දින සිට ඇරඹුණු මෙම විශේෂ ගුවන් ගමන් මාලාව 2027 අප්‍රේල් මස 02 වැනිදා දක්වා සක්‍රීයව ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය පුරාවටම සෑම දින දහයකට වරක්ම පෝලන්තයේ මෙම නගර තුනෙහි සිට සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, සමස්ත කාලසීමාව තුළ ගුවන් ගමන් වාර 42ක් සංවිධානය කර තිබෙනවා. 

යුරෝපයේ සීතල මාසවලදී ශ්‍රී ලංකාවේ ඇති උණුසුම් සුර්ය රශ්මිය සහ ස්වාභාවික සෞන්දර්යය විඳගැනීමට ලැබීම පෝලන්ත වැසියන් අතර මහත් ජනප්‍රියත්වයක් උසුලන රහසක්.
විශේෂයෙන්ම ලංකාවේ වෙරළ තීරයන්, ඓතිහාසික සිහිවටන, වනජීවී අත්දැකීම් මෙන්ම මනස්කාන්ත කඳුකර ප්‍රදේශ සහ තේ වතු ආශ්‍රිත සංචාරයන් සඳහා ඔවුන් තුළ ඇත්තේ විශාල කැමැත්තක්. 

සීගිරිය, දඹුල්ල, මහනුවර, නුවරඑළිය සහ යාල වැනි ප්‍රසිද්ධ ගමනාන්ත නැරඹීමට මෙම පැමිණෙන සංචාරකයන් බෙහෙවින් ආශා කරනවා. වසර 15ක පමණ දීර්ඝ කාලයක සිට පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින මෙම ශීත ඍතු සංචාරක සබඳතාවය, මෙවර ගුවන් ගමන් වාර 42ක් දක්වා වර්ධනය වීම දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීමකට මග පාදන්නක්.

නොවැම්බර් සිට අප්‍රේල් දක්වා දිවෙන මෙම සංචාරක සමය ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයට මෙන්ම දේශීය ආර්ථිකයට ද ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වනවා. මෙමගින් මෙරට හෝටල් ක්ෂේත්‍රය, සංචාරක මඟපෙන්වන්නන්, ප්‍රවාහන සේවා සපයන්නන්, අවන්හල් හිමියන් මෙන්ම කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් රැසකට ද විශාල ආර්ථික වාසි හිමිවන අතරම, මෙරටට අවශ්‍ය විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ඔසවා තැබීමට ද මෙය මහත් පිටිවහලක් වනු ඇත.
0%
0%
0%
0%
Comments