මෙම අභිමානවත් ජාත්‍යන්තර සම්මාන උළෙලකදී සම්මානයක් ප්‍රදානය කිරීම සඳහා තේරී පත් වූ ප්‍රථම ඉන්දියානු රංගන ශිල්පියා ලෙස විජේ සේතුපති ඉතිහාසයට එක්වීම විශේෂත්වයක්.
‘ද හොලිවුඩ් රිපෝටර් ඉන්දියා’ වාර්තාවලට අනුව, මෙම සුවිශේෂී ජාත්‍යන්තර වේදිකාවට විජේ සේතුපති සම්බන්ධ කරගැනීම පිටුපස විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙන්නේ ජාත්‍යන්තර රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන කවිතා ගුප්තා විසිනුයි.
මීට පෙර 2024 වසරේ පැවැති 52 වැනි ඉන්ටර්නැෂනල් එමී සම්මාන උළෙල මෙහෙයවීම සඳහා ප්‍රකට විකට රංගන ශිල්පී වීර් දාස් සම්බන්ධ කරගැනීමටද මුල් වී තිබෙනවා. ඒ අනුව එම සම්මාන උළෙලක ප්‍රධාන මෙහෙයවන්නා ලෙස කටයුතු කළ පළමු ඉන්දියානුවා බවට පත්වීමට වීර් දාස්ට හැකිවුණා.
ලොව පුරා අග්‍රගණ්‍ය රූපවාහිනී නිෂ්පාදන ඇගයීමට ලක්කෙරෙන මෙම සම්මාන රාත්‍රිය මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ නිව්යෝර්ක් නුවර මෑන්හැටන් හිදීයි. මෙවර සම්මාන උළෙලේදී විජේ සේතුපතිගේ පැමිණීමට අමතරව, ඉන්දියාව නියෝජනය කරමින් නිර්මාණ දෙකක්ම ප්‍රධාන කාණ්ඩ යටතේ නිර්දේශ ලබා සිටීම තවත් විශේෂත්වයක්.
ඒ අනුව ‘SonyLIV’ හරහා විකාශය වූ ‘Real Kashmir Football Club’ ක්‍රීඩා කථාමාලාව හොඳම නාට්‍යමය කථාමාලාව (Best Drama Series) ලෙසත්, ‘Netflix’ හරහා විකාශය වූ ‘Vir Das: Fool Volume’ වැඩසටහන හොඳම හාස්‍යජනක කථාමාලාව (Best Comedy Series) ලෙසත් නිර්දේශ අතරට එක්ව තිබෙනවා.
මෙවර තරගාවලිය පුරා වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් එනම් නිර්දේශ 14ක් ලබාගැනීමට එක්සත් රාජධානිය සමත්ව සිටින අතර, බ්‍රසීලය නිර්දේශ 9ක් ලබාගෙන දෙවැනි ස්ථානයේ පසුවෙනවා. හොඳම නාට්‍යමය කථාමාලාව කාණ්ඩය යටතේ ඉන්දියාවේ ‘Real Kashmir Football Club’ නිර්මාණය සමගින් එක්සත් රාජධානියේ ‘A Thousand Blows’, ප්‍රංශයේ ‘Carême’ සහ ආර්ජන්ටිනාවේ ‘Menem’ යන නිර්මාණ තරග වදිනවා. එමෙන්ම හොඳම හාස්‍යජනක කථාමාලාව කාණ්ඩයෙන් වීර් දාස්ගේ නිර්මාණය සමගින් ආර්ජන්ටිනාව, එක්සත් රාජධානිය සහ ස්පාඤ්ඤය නියෝජනය කරන නිර්මාණ තරග බිමේ පසුවෙනවා.
මීට අමතරව හොඳම නළුවා සහ හොඳම නිළිය සඳහා වන සම්මාන කාණ්ඩයන්හිද දැඩි තරගකාරීත්වයක් දක්නට ලැබෙනවා. හොඳම නළුවා සම්මානය සඳහා හාවියර් කැමරා, රිකාඩෝ දාරින්, ඉයන් රොබර්ට්ස් සහ බොබී ස්කොෆීල්ඩ් නිර්දේශ ලබා සිටින අතර, හොඳම නිළිය සඳහා වන සම්මානයට මොනා මිනා ලියොන්, බාර්බරා මෝරි, පාක් ජි-හ්යුන් සහ ෂෙරිඩාන් ස්මිත් තරග වදිනවා. ලෝක සිනමාව සහ රූපවාහිනී ක්ෂේත්‍රය උඩුයටිකුරු කරන මෙම දැවැන්ත සම්මාන රාත්‍රිය දෙස මුළු මහත් ආසියාවම දැනටමත් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.