මාලදිවයිනෙන් බිහි වූ ලාබාල දක්ෂතා පෙන්වන සර්ෆින් ක්රීඩිකා ආලියා ලතීෆ්, "Little Saltwater Princess" යන ආදරණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර, ඇය මෑතකදී ශ්රී ලංකාවේදී අත්කරගත් විශිෂ්ට ජයග්රහණයත් සමඟ ජාත්යන්තරයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
2026 සැප්තැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ ආරුගම්බේ හි පැවති SFSL සර්ෆින් ශූරතාවලියේ කාන්තා විවෘත අංශයේ ජයග්රහණය හිමික කරගනිමින් ආලියා ජාත්යන්තර අවධානය දිනාගත්තේ ලෝකයම මවිත කරවමිනි.
වයස අවුරුදු අටක් වැනි ලාබාල වියේදීම මාලදිවයිනේ ප්රථම කණිෂ්ඨ කාන්තා රළ පැදීමේ ශූරතාව දිනාගනිමින් ඇය ඉතිහාසයට එක් වූ අතර, එය 2025 වසරේදී සිදු වූ සුවිශේෂී සිදුවීමක් විය. ආරම්භක ජාතික කණිෂ්ඨ රළ පැදීමේ ශූරතාවලියේ අවුරුදු 18න් පහළ අංශය ජයග්රහණය කළ ඇය, වැඩිමහල් ක්රීඩිකාවන්ට එරෙහිව විශිෂ්ට දක්ෂතාවක් පෙන්නුම් කර තිබෙනවා.
මුහුද සමඟ බැඳුනු ඇයගේ ළමාවිය පුදුමාකාර එකක් වන අතර, රළ පැදීමේ නියැලෙන මවකගේ සහ කිමිදුම් උපදේශකයෙකු ලෙස කටයුතු කරන පියාගේ සෙවණේ හැදී වැඩුණු ඇයට මුහුදුබඩ පරිසරය කුඩා කල සිටම පුරුදු පුහුණු වී තිබෙනවා.
ඔවුන්ගේ පවුල "ද සීෆරර්" (The Seafarer) නම් සෆාරි බෝට්ටුවක මුහුදුබඩ ප්රදේශ හරහා සංචාරය කරමින් ජීවත් වූ අතර, එය ඇයට විවිධ වෙරළ තීරයන් ගවේෂණය කිරීමට සහ ජලය සමඟ දැඩි නැඹුරුවක් ඇති කර ගැනීමට මග පාදා දී තිබෙනවා.

ඇය වයස අවුරුදු තුනේදී මාලදිවයිනේ චිකන්ස් රළ පැදීමේ තොටුපළේදී ප්රථම වරට රළ පැදීම ආරම්භ කර ඇති බව සඳහන් වනවා.මාලදිවයිනේ ජාතික කාන්තා රළ පැදීමේ කණ්ඩායම නියෝජනය කරන ආලියා, හවායි ඇතුළු ලොව පුරා පිහිටි ප්රසිද්ධ රළ පැදීමේ මධ්යස්ථානවල පුහුණුවීම් ලබමින් ඇයගේ දක්ෂතා තවදුරටත් ඔප්නංවා ගනිමින් සිටිනවා.
මීට අමතරව ඇය මාලදිවයිනේ සුප්රසිද්ධ තුලුස්ධූ සහ කෝක්ස් රළ පැදීමේ තොටුපළවල ද පුහුණුවීම්වල නිරත වනවා. 'World Surf League' තරගාවලියට සහභාගී වීම ඇයගේ එකම අපේක්ෂාවයි. වයස අවුරුදු තුනේදී මුල්ම රළ පහර සමඟ සෙල්ලම් කළ ආලියා, අද වන විට වයස අවුරුදු නමයේදී ජාත්යන්තර විවෘත කාන්තා ශූරතාවක් දිනා ගනිමින් විශ්මිත කතාවක් ලියමින් සිටිනවා.
✍ නයනාංජලී හේවගේ