රෝග ලක්ෂණ මොනවා ද?
ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට වැලඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයදැයි හඳුනා ගැනීමට ලක්ෂණ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ හැකියි. තද උණ, කැස්ස, සෙම්ප්රතිශ්යාව, උගුරේ අපහසුතාවය සහ දැවිල්ල, අධික හිසරදය මෙන්ම මුළු ඇඟපතම වෙහෙසකර කරවන වේදනාව ඉන්ෆ්ලුවෙන්සා හි ප්රධාන රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකියි. මෙවැනි ලක්ෂණ මතු වූ වහාම විවේක ගැනීම සහ නිසි සෞඛ්ය ආරක්ෂණ ක්රම අනුගමනය කිරීම වැදගත් වේ.
රෝගය බෝවන්නේ කෙසේද?
ඉන්ෆ්ලූවෙන්සා යනු ඉතා වේගයෙන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිර යන ශ්වසන පද්ධතිය ආශ්රිත රෝගයකි. ආසාදිත පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් අරින විට පිටවන කුඩා බිඳිති මගින් මෙන්ම, වයිරසය තැවරී ඇති පෘෂ්ඨයන් සහ ද්රව්ය ස්පර්ශ කර මුහුණ හෝ නාසය ඇල්ලීමෙන් නිරෝගී පුද්ගලයින්ට මෙම රෝගය පහසුවෙන් බෝ විය හැක. එබැවින් නිතර දෑත් පිරිසිදුව තබා ගැනීම සහ මුව ආවරණ භාවිතය ඉතා වැදගත් වේ.
වඩාත් ආරක්ෂිත විය යුතු අවදානම් කණ්ඩායම්
සාමාන්ය නීරෝගී පුද්ගලයෙකුට මෙය ඉක්මනින් සුව වුවද, ඇතැම් පුද්ගල කණ්ඩායම්වලට ඉන්ෆ්ලුවෙන්සා වැලඳීමෙන් යම් යම් සංකූලතා මතුවීමේ අවදානමක් පවතිනවා. ගර්භණී මාතාවන්, කුඩා දරුවන්, වයෝවෘද්ධ වැඩිහිටියන් මෙන්ම දියවැඩියාව, හෘද රෝග සහ වකුගඩු රෝග වැනි දීර්ඝකාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මෙම පිරිස් අතර රෝග ලක්ෂණ මතු වුවහොත් ප්රමාද නොවී සුදුසු වෛද්ය ප්රතිකාර සඳහා යොමු වීම අත්යවශ්ය වේ.
පාසල් යන දරුවෙකුට හෝ රාජකාරියට යන අයෙකුට රෝග ලක්ෂණ ඇත්නම් දින 2-3ක කාලයක් නිවසේ සිට විවේක ගැනීමෙන් රෝගය ඉක්මනින් සුවවීමට මෙන් ම අන් අයට බෝවීම වැළැක්වීමට ද උපකාරී වන බව විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම පවසයි.
ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම සිටින සුදුසුකම් ලත් වෛද්යවරයෙකුගෙන් හෝ රජයේ රෝහලකින් ප්රතිකාර ලබාගැනීම නුවණට හුරුය. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටීම, කැස්ස හෝ කිවිසුම් යවන විට ලේන්සුවකින් හෝ නැමුණු වැලමිටෙන් මුව ආවරණය කරගැනීම වැදගත්.