පූර්ණකාලීන කලාකාරිනියක ලෙස ජාත්යන්තරයේ පවා පැසසුමට ලක්වු ඇය, අන්තර්ජාතික සම්මානිත විහාර බිතුසිතුවම් ශිල්පිනී චාමිනී බුද්ධිකා වීරසූරිය යි. Ziradaily අපි ඇය සමඟ කළ සුහද කතාබහක් මෙලෙස පෙළගස්වන්නෙමු.

චාමිනී, කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල දකුණු කොරියාවේ පැවැත්වෙන 12 වන 'Geoje Art Festival' හි විනිශ්චයකාරිනියක ලෙස කටයුතු කරන නිසා එහි විනිශ්චය කටයුතු සමඟින් කාර්යබහුලයි. ඒ වගේම මේ මාසයේදී දකුණු කොරියාවේ Haegeumgang Theme Museum එකෙන් මට "Artist of the Year" සම්මානයත් පිරිනමනු ලැබුවා.
ඔබේ පෞද්ගලික තොරතුරු සහ කලා ගමනේ ආරම්භය ගැන මුලින්ම කිව්වොත්?
මම පාසල් අධ්යාපනය ඇරඹුවේ අනුරාධපුරය කලත්තෑව මහ විද්යාලයෙන්. සාමාන්ය පෙළ දක්වා එහි ඉගෙනුම ලබා, අනුරාධපුර මධ්ය විද්යාලයෙන් උසස් පෙළ කලා අංශයෙන් හදාරා දිස්ත්රික්කයේ 8 වෙනි ස්ථානය ලබාගැනීමට මට හැකිවුණා.
පසුව පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් ලලිතකලා විශේෂවේදී උපාධියත්, කැළණිය විශ්වවිද්යාලයෙන් ලලිතකලාධිපති පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළා. වසර පහකට ආසන්න කාලයක් රජයේ පාසල් දෙකක චිත්ර කලා ගුරුපියෙසේ සේවය කළා. පුංචි කාලේ ඉඳන්ම මගේ ජීවිතයේ පුරුද්දක් විදිහට පැමිණි චිත්ර ඇඳීම, අධ්යාපනයත් එක්කම මගේ ජීවිතයේ වෘත්තීය ගමන බවට පත්වුණා.

ඔබ මීට පෙර දායක වූ ප්රධාන විහාරස්ථාන සහ බිතුසිතුවම් ව්යාපෘති මොනවාද?
හන්තාන සඳගිරි මහ සෑ ගර්භය, අනුරාධපුර පුරාණගම පරිශ්රයේ විහාරස්ථානය , ගම්පොළ ශ්රී බෝධිරුක්ඛාරාමය, කිරුළපන ශ්රී සිද්ධාර්ථාරාමය, අනුරාධපුර ශ්රී ශෛලබිම්බාරාමය, ඉන්දියාවේ නාග්පූර් මහබෝධි විහාරය, ඉන්දියාවේ විශ්රාම් නගර් විහාරය ඇතුළු පූජනීය ස්ථාන රැසක්.

මෙම කලා ව්යාපෘති සිදු කිරීමේදී ඔබ මුහුණ දුන් ප්රධාන අභියෝග මොනවාද?
මුල් කාලයේදී මම මුහුණ දුන් ප්රධානම අභියෝගය වුණේ "කාන්තාවක වීම". මොකද කාන්තාවක් විහාර බිතුසිතුවම් ඇඳීම ගැන සමාජයේ එක එක අය එක එක කෝණවලින් බැලුවා. හැබැයි දැන් මාව විහාර බිතුසිතුවම් ශිල්පිනියක් ලෙස බොහෝ දෙනෙක් හඳුනන නිසා කිසිම කෙනෙක් සෘණාත්මකව බලන්නේ නෑ.
ඊට අමතරව ඒ ඒ ස්ථානවල පාරිසරික අභියෝග තිබුණා. විශේෂයෙන්ම හන්තාන සඳගිරි මහ සෑයේදී ලොකු පාරිසරික අභියෝග රැසකට මුහුණ දුන්නා. කඳුමුදුනක පිහිටි සෑ ගර්භයට මම නැවතී සිටි ස්ථානයේ සිට උදේ හවස නැගීම, වැහිබර කාලගුණය නිසා ඇඳුමක්වත් වේලාගැනීමට නොහැකි වීම, සහ කූඩැල්ලන්ගෙන් ආ අසීරුතා ඒ අතරින් ප්රධානයි. අනුරාධපුරයේ වියළි කලාපයට හුරු වී සිටි මට හන්තාන පරිසරය ලොකු අභියෝගයක් වුණත්, අද වෙනකොට ඒ හැමදේම හරිම ලස්සන මතකයන්. ඒ චිත්ර බලලා ජනතාව සමාජ මාධ්ය හරහා දෙන ආශීර්වාදය දකිද්දී ඒ අසීරුතා සියල්ල අමතක වී යනවා.
සාමාන්ය චිත්රයක් ඇඳීම සහ විහාරස්ථානයක චිත්රයක් නිර්මාණය කිරීම අතර ඇති වෙනස සහ වර්තමාන ප්රවණතාව ගැන ඔබ දකින්නේ කෙසේද?
විහාර චිත්ර අඳින බොහොමයක් දෙනා ඉන්නවා. හැබැයි අලුත් දෙයක් වෙනස් විදිහකට කරන්න, තමන්ටම ආවේණික විදිහකින් කරන්න හිතන අය හරිම අඩුයි.
ඉන්දියාවෙ ලක්නව් අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ දී චාමිනීට ලැබුනු ගෞරව සම්මානය
ශ්රී ලංකාවේ විහාර චිත්ර කලාව ජාත්යන්තරයට ගෙන යාමට හැකියාවක් තිබෙනවාද?
අනිවාර්යයෙන්ම. මේ වෙද්දී මම ඉන්දියාවේ විහාරස්ථාන කිහිපයකම විහාර චිත්ර ඇන්දා. ඒ ඇන්දෙත් ඉන්දියාවෙන් නැතිවීගෙන යන විහාර චිත්ර කලාව නැවත හඳුන්වා දීමක් විදිහටයි. මොකද ඉන්දියාවේ බෝධිගයා විහාරය වගේ ප්රසිද්ධ ස්ථාන කිහිපයක හැරුණම අනෙක් විහාරවල විහාර චිත්ර ඇඳීමේ ප්රවණතාවක් නෑ.

ඔබ මෙතෙක් ඇඳපු චිත්ර අතරින් ඔබට වඩාත්ම සමීප නිර්මාණය කුමක්ද? ඒ ඇයි?
මම මෙතෙක් ඇඳපු චිත්ර අතරින් මට වඩාත්ම සමීප හන්තාන සඳගිරි මහ සෑයේ චිත්ර. මොකද ඒ චිත්ර අඳින්න කලින් මම ඒ වෙනුවෙන්ම ලොකු සූදානමක් වුණා. අද වෙද්දී මම මටම අනන්ය වූ ශෛලියකින් චිත්ර අඳිනවා නම්, ඒ ශෛලියේ උපත සිදුවුණේ හන්තාන සඳගිරි මහ සෑයෙන් කිව්වොත් මම නිවැරදියි.
ඔබට ලැබුණු වඩාත්ම සතුටුදායක ප්රතිචාරය කුමක්ද?
සඳගිරි මහ සෑයේ චිත්ර ඇන්දට පස්සේ බොහොමයක් දෙනා සමාජ මාධ්ය හරහා මට ආශීර්වාද කළා, පින් දුන්නා. ඒ අතරින් ගොඩක් අය මට "මේ සසර ගමන කෙටි වී, ඉක්මනින්ම උතුම් නිර්වාණ අවබෝධයටම පත්වේවා" කියලා ආශීර්වාද කළා. කලාකාරිනියක් විදිහට මට ලැබෙන ලොකුම සතුට සහ තෘප්තිය ඒකයි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම විහාර චිත්ර විතරක් නෙවෙයි, ගැලරි අවකාශය භාවිත කරමින් මගේ කැන්වස් චිත්ර හරහාත් චිත්ර ශිල්පිනියක ලෙස වැඩකරනවා. ඉන්දියාව, නේපාලය, දකුණු කොරියාව, ඊජිප්තුව, ජර්මනිය වගේ රටවල් එක්ක මම වැඩකරනවා. විදේශයන්හි අය මාව 'Artist' කෙනෙක් විදිහට හඳුනනවා. නමුත් ලංකාවේ අය මාව ගැලරි අවකාශයේ චිත්ර ශිල්පිනියක ලෙස දන්නේ හරිම අඩුවෙන්; ඔවුන් මාව දන්නේ විහාර බිතුසිතුවම් සම්බන්ධයෙන් විතරයි.
ඒ නිසා ඉදිරියේදී ලංකාව තුළත් මගේ චිත්ර ප්රදර්ශන පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාව සහ ඉන්දියාව හැරුණම වෙනත් රටකිනුත් විහාර චිත්ර නිර්මාණය කරන්න ආරාධනාවක් ලැබෙනකම් මම ගොඩක් කැමැත්තෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
චාමිනීගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි Ziradaily අපි ප්රාර්ථනා කරමු.
✍️ නයනාංජලී හේවගේ