'රෝඩ්ස්ටර්' (Roadster) ලෙස නම් කර ඇති මෙම අතිනවීන ද්වි-ආසන ක්රීඩා මෝටර් රථය සතු වේගය සහ තාක්ෂණය ඕනෑම අයෙකුව විශ්මයට පත් කරන සුළුයි. ටෙස්ලා සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් සඳහන් කරන ආකාරයට, තත්පරයකටත් අඩු ඉතා කෙටි කාලයකදී පැයට සැතපුම් 0 සිට 60 දක්වා අදහන්නත් බැරි වේගයක් ලබා ගැනීමට මෙම මෝටර් රථයට හැකියාව පවතිනවා.
පරීක්ෂණ මධ්යස්ථානයේදී ප්රදර්ශනය කළ විශේෂාංග අතරින් බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක්වුණේ මෙහි ඇති විශ්මිත පියාසර තාක්ෂණයයි. වාහනය යට පිහිටි විශේෂ රික්තක (suction) තාක්ෂණය භාවිත කරමින් දැඩි බෑවුම් සහිත ස්ථානවල පවා ඉහළට ගමන් කිරීමටත්, උඩුකුරුව එල්ලී සිටීමටත් මෙන්ම වාතයේදී කැරකෙමින් විශේෂ වායු ජෙට් (air jets) ආධාරයෙන් ඉතා සුරක්ෂිතව ගොඩබසීමටත් මෙම මෝටර් රථයට හැකි බව එහිදී ප්රදර්ශනය කෙරුණා. මෙය සැබවින්ම වාහන තාක්ෂණයේ නවතම මානයක් සනිටුහන් කිරීමක්.
කෙසේ වෙතත්, අනාගතයේදී අපේ ගමනාගමන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සූදානම් වන මෙම පියාඹන මෝටර් රථයේ නිල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේදීයි.