උතුරු පළාතේ කලාකරුවන්ගේ අපූර්ව නිර්මාණශීලී දක්ෂතා ඇගයීමට ලක් කරමින්, පළාතට ආවේණික සාම්ප්‍රදායික කලා හා සංස්කෘතික අංග සංරක්ෂණය කර ඉදිරියට නංවාලීමේ අරමුණින් සංවිධානය කළ උතුරු පළාත් සංස්කෘතික උළෙල යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සංස්කෘතික මහෝත්සවය, විවිධත්වයේ අසිරිය කැටි කරගත් අපූරු අත්දැකීමක් බවට පත් වුණා.
උතුරු පළාතට ආවේණික පාරම්පරික නාට්‍ය, සාම්ප්‍රදායික සංගීතය සහ සිත් ඇදගන්නාසුලු සංස්කෘතික නර්තන රැසකින් මෙම උළෙල වර්ණවත් විය. විශේෂයෙන්ම, හින්දු, සිංහල, කතෝලික සහ මුස්ලිම් යන සියලු ජන සමාජයන්ට ආවේණික සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විශේෂ පෙරහැරක් යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමෙන් එකමුතුකම සහ සංස්කෘතික බැඳීම මනාව පෙන්නුම් කළා.
ප්‍රදේශයේ පාසල් සිසු දරු දැරියන් ඉදිරිපත් කළ වර්ණවත් නර්තනාංග හා කලා ප්‍රසංග හරහා උතුරු පළාතේ නව පරපුරේ සැඟවුණු කලා දක්ෂතා මනාව එළිදැක්වුණා.
උතුරු පළාතේ අනන්‍යතාවය රැකගනිමින්, කලාව වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවන් වෙත මෙහිදී විශේෂ සම්මාන ප්‍රදානය කිරීමද සිදු කෙරුණේ ඔවුන්ගේ කැපවීම අගයමිනි.
උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ෆැක්ට්‍රික් නිරංජන් සහ ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසු මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රවීණ හා නවක කලාකරුවන් මෙන්ම විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.