ජීවිතයේ විචිත්‍රත්වය සොයන සංචාරකයන්ගේ සහ කලාවට ලැදි ලෝකවාසීන්ගේ නෙත් මනමත් කරමින්, බෙල්ජියමේ ඓතිහාසික ග්‍රෑන්ඩ් ප්ලේස් (Grand Place) චතුරස්‍රය මෙවරත් අතිශය අපූරු මල් සෙල්ලමකින් හැඩ වී තිබිණි.
ඒ, ලෝක ප්‍රසිද්ධ 'බ්‍රසල්ස් මල් කාපට්' (Brussels Flower Carpet) හි 24 වැනි සංස්කරණය ඉතා උත්කර්ෂවත් අයුරින් ක්‍රියාත්මක කරමිනි.
වර්ග මීටර් 1,680ක දැවැන්ත භූමි භාගයක් පුරා විහිදී ගිය මෙම අසමසම කලා නිර්මාණය සඳහා ඩැලියා මල් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් යොදාගෙන තිබීම විශේෂත්වයකි.
මල්වල ස්වභාවික වර්ණ මාලාවන් දක්ෂ ලෙස උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මෙම මල් පලස, නරඹන්නන්ට අපූරු දෘශ්‍ය හා සංවේදී අත්දැකීමක් එකතු කරයි.
මෙවර මෙම මල් කාපට් නිර්මාණය විශේෂ වැදගත්කමක් උසුලන්නේ, බෙල්ජියම සහ ජපානය අතර පවතින 160 වසරක දීර්ඝ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සැමරීම වෙනුවෙන් එය කැප කර තිබීමයි. ඒ සඳහා ආභාසය ලබාගෙන ඇත්තේ ජපානයේ අතිශය ජනප්‍රිය ලී කුට්ටි මුද්‍රණ ශිල්පියකු වන කට්සුෂිකා හොකුසායි (Katsushika Hokusai) ගේ ලොවම දිනූ 'The Great Wave off Kanagawa' නම් විශිෂ්ට කෘතියෙනි.
ස්වභාවධර්මයේ අපූර්වත්වය සහ සංස්කෘතීන් අතර බැඳීම මැනවින් විදහා දක්වන මෙම අපූරු මල් සංදර්ශනය, ලොව පුරා සංචාරකයන්ගේ මෙන්ම කලා ලෝලීන්ගේ නොමද ප්‍රසාදයට සහ අවධානයට ලක්ව තිබේ.