මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස සහ ක්‍රමයෙන් වර්ධනය වන ‘එල් නිනෝ’ (El Niño) කාලගුණික තත්ත්වය මෙම උෂ්ණත්ව ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් සාගර උෂ්ණත්වය ඉහළම අගයක් ගන්නේ මාර්තු හෝ අප්‍රේල් මාසවලදී වුවත්, වසරේ මෙම කාලසීමාව තුළ උණුසුම් ස්වභාවයක් වාර්තා වීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.
සාගර උෂ්ණත්වය මෙලෙස ඉහළ යාම නිසා ආන්තික කාලගුණික තත්ත්වයන් උග්‍ර වීම, මුහුදු මට්ටම ඉහළ යාම මෙන්ම මුහුදු ජීවීන්ට සහ කොරල් පරවලට බරපතල හානි සිදුවීමේ දැඩි අවදානමක් පවතියි. "මෙම වාර්තාව සාගරය කෙතරම් පීඩනයකට ලක්ව ඇත්ද යන්න පෙන්වන පැහැදිලි සංඥාවක්" බව කොපර්නිකස් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය සමන්තා බර්ජස් පවසා තිබෙන්නේ එබැවිනි.
ඉදිරි නත්තල් සමය දක්වා මෙම එල් නිනෝ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනතුරු අඟවා ඇති බැවින්, ස්වභාවධර්මය රැක ගැනීමටත්, පරිසර හිතකාමී ජීවන රටාවකට හුරු වීමටත් අප සැමගේ අවධානය දැන්වත් යොමු විය යුතුව ඇත. තොරතුරු බීබීසී ඇසුරිනි.