පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු කාලයත් සමඟ දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත්, මෙම ක්‍රියාකාරකම හේතුවෙන් සිදුවන හදිසි අනතුරු බහුල ලෙස වාර්තා වීම නිසා, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
සරුංගල් යැවීම විනෝදාස්වාදජනක වුවද, නොසැලකිලිමත් ලෙස එය සිදුකිරීමෙන් දරුවන්ට බරපතළ ජීවිත අවදානමකට මුහුණදීමට සිදුවිය හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී සිදුවන ගැටීම් සහ වැටීම් මෙන්ම, උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම් හේතුවෙන් දරුවන් දැඩි අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක් පවතී.
මෙහිදී වඩාත්ම භයානක තත්ත්වය වන්නේ සරුංගල් යැවීමේදී භාවිත කරන නූල් අධිබලැති විදුලි රැහැන්වල ගැටීමයි. එමඟින් විදුලි ධාරාව නූල ඔස්සේ පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය වී බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන අවස්ථා නිරීක්ෂණය වී තිබේ. එවැනි විදුලි සැර වැදීම් නිසා අත්, බාහු සහ පපු ප්‍රදේශයේ රුධිර වාහිනී හා ස්නායු දැඩි ලෙස හානි විය හැකි අතර, ඇතැම් අවස්ථාවල ශල්‍යකර්ම මඟින් ශරීරාංග ඉවත් කිරීමට පවා සිදුවන බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති.
එබැවින්, අධිබලැති විදුලි රැහැන් පවතින ප්‍රදේශවල දරුවන් සරුංගල් යැවීමෙන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් දැඩි අවධානයක් යොමු කළ යුතුය. දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවද එකසේ වැදගත් වන බැවින්, මෙგැනි අනතුරු වළක්වා ගැනීම සඳහා සමස්ත සමාජයම වගකීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි.