ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව, පස්වග තවුසන් වෙත සිය ප්‍රථම ධර්ම දේශනාව වන 'ධම්මචක්කප්පවත්තන සූත්‍රය' දේශනා කරමින් බුද්ධ ශාසනයේ සහ සංඝ රත්නයේ ආරම්භය සනිටුහන් කළේ මෙම පූජනීය ඉසිපතන මිගදායේදීය.
ලොව පැරණිතම මානව ජනාවාසයක් වන වාරාණසි නගරය ආසන්නයේ පිහිටි මෙම බිම අදටත් බැතිමතුන්ගේ සන්සුන් මනසට අපූරු ආධ්‍යාත්මික සුවයක් ගෙන දෙයි.
ධාමේක් ස්තූපය, චෞඛන්දි ස්තූපය සහ ධර්මරාජික ස්තූපය ඇතුළු සියවස් ගණනාවක් පැරණි ආරාම, විහාර සහ ස්තූප සංකීර්ණ රැසක නටඹුන් මෙහි තවමත් සුරක්ෂිතව පවතියි. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව හා සබැඳි ප්‍රධානතම බෞද්ධ වන්දනා ස්ථාන හතරෙන් එකක් වන සාරානාත්, ලෝකවාසී බෞද්ධයින් නිතර ඇදී යන අතිපූජනීය ගමනාන්තයකි.
වසර 2,500කට අධික කාලයක් පුරා ලෝකවාසීන්ට කරුණාව, ප්‍රඥාව සහ සාමය පිළිබඳ විශ්වීය පණිවුඩය රැගෙන ගිය සාරානාත් භූමිය, අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීම සැමගේම වගකීමක් බව දකුණු ආසියාව සඳහා වන යුනෙස්කෝ කලාපීය නියෝජිත සහ අධ්‍යක්ෂ ටිම් කර්ටිස් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.