ads
Travel

ලොවම ආකර්ෂණය කරගත් ශ්‍රී ලංකාවේ සුවතා සංචාරක ගමනාන්තය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සංචාරක ක්ෂේත්‍රයේ නවතම රැල්ල වන 'වෙල්නස් ටුවරිසම්' එහෙමත් නැත්නම් සුවතා සංචාරක ව්‍යාපාරය මේ වන විට ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. මීට පෙර කාලවලදී විවේක සුවය සඳහා කෙටි සම්බාහනයකට පමණක් සීමා වූ සංචාරක අත්දැකීම්, අද වන විට ශාරීරික හා මානසික සුවය මුල්කරගත් පරිපූර්ණ ගමනාන්ත සොයා යාමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

BookRetreats.com ආයතනය විසින් නිකුත් කර ඇති 2026 වසරේ 'State of Retreats' වාර්තාවට අනුව, මේ වසරේදී ඇමරිකානු සංචාරකයින්ගෙන් 49%ක්ම තම නිවාඩුව සඳහා සුවතා මධ්‍යස්ථාන තෝරා ගැනීමට සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන්ම 2027 වන විට ගෝලීය සුවතා සංචාරක ව්‍යාපාරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් දක්වා ඉහළ යනු ඇතැයි ගෝලීය සුවතා ආයතනය අනාවැකි පළ කර තිබෙනවා.

your image

මෙම වාර්තාවේ සඳහන් වන පරිදි, 2026 වසරේ ලොව වඩාත්ම ජනප්‍රිය වෙමින් පවතින සුවතා සංචාරක ගමනාන්තයන් අතර ශ්‍රී ලංකාව ඉහළින්ම ස්ථානගත වී තිබෙනවා. පෙර වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව කෙරෙහි සුවතා සංචාරකයින්ගේ උනන්දුව 100%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනවා. 

ශ්‍රී ලංකාව සතු දහස් ගණනක් පැරණි ආයුර්වේද සම්ප්‍රදායන් සහ වෛද්‍යවරුන්ගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රම සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මීට අමතරව, දින තුනක හෝ හතරක කාලයක් සඳහා වන සුවතා පැකේජයන් ඇමරිකානු ඩොලර් 372ක වැනි සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීමට හැකි වීමත්, පසුගිය මැයි 25 වැනිදා සිට රටවල් 40ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියත්වය තවත් වැඩි කිරීමට ඉවහල් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී භූගෝලීය පිහිටීම නිසා වසර පුරාම ඕනෑම වෙරළ තීරයක අව්ව සහිත කාලගුණයක් අත්විඳීමට සංචාරකයින්ට අවස්ථාව තිබෙනවා. යෝගා අභ්‍යාස සහ ආයුර්වේද ප්‍රතිකාරවලින් ඔබ්බට යමින්, වන අලින් දැකබලා ගැනීමට සහ නිල් තල්මසුන් නැරඹීමට හැකි වීම සංචාරකයින්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනවා. 

ශ්‍රී ලංකාවට අමතරව ආසියාවේ අනෙකුත් රටවල් වන නේපාලය සහ තායිලන්තය ද මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම පසුවනවා. නේපාලයේ යෝගා සහ කඳු නැගීමේ සංචාරක අත්දැකීම් 52%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, තායිලන්තය සිය සම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර සහ නවීන වෛද්‍ය සංචාරක අංශයන් ඒකාබද්ධ කරමින් 48%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

BookRetreats.com වාර්තාවට අනුව 2026 වසරේ ලොව වඩාත්ම ජනප්‍රිය සුවතා සංචාරක ගමනාන්ත දහය වන්නේ ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, මොරොක්කෝව, එංගලන්තය, ස්පාඤ්ඤය, නේපාලය, තායිලන්තය, මෙක්සිකෝව, කොස්ටරිකාව සහ කැනඩාවයි. මෙම ගමනාන්තයන් හරහා සංචාරකයින් බලාපොරොත්තු වන පරිපූර්ණ ජීවන රටාවක් සහ මානසික ප්‍රබෝධයක් උදා කර ගැනීමට අවශ්‍ය පසුබිම ඉතා හොඳින් සකස් වී තිබෙනවා.

0%
0%
0%
0%
Comments