පරිසර සංරක්ෂණ සංවිධානයක් වන 'The Wilderness Project' ආයතනය විසින් මෙහෙයවන ලද මෙම සංචාරයේදී වර්ණවත් සමනලුන්, බත්කූරන් සහ වෙනත් අමුතුම පන්නයේ සතුන් රැසක් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.
කොංගෝ, ඔකවන්ගෝ, සැම්බේසි සහ කුඅන්සා යන අප්‍රිකාවේ ප්‍රධානතම ගංගා හතර පෝෂණය කරන ජල උල්පත් පිහිටා ඇත්තේ මෙම අපූරු සානුව මතයි. මෙම ජල පෝෂක ප්‍රදේශය ආශ්‍රිතව කළ ගවේෂණයේදී නව බත්කූරු විශේෂ 8ක්, මෙතෙක් හඳුනා නොගත් පළඟැටි විශේෂ 3ක් සහ විවිධ විචිත්‍රවත් වර්ණයන්ගෙන් යුත් සමනලුන් හා සලබයන් විශේෂ 60කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වුණා.
සොබාදහමේ ඇති විවිධත්වය සහ එහි ඇති සුන්දරත්වය අගය කරන කාටත් මෙය සැබවින්ම ආනන්දනීය පුවතක්. මෙම සොයාගැනීම් අතර කාගේත් අවධානය දිනාගත් සුවිශේෂී සතුන් කිහිපදෙනෙකුම සිටිනවා.
මීට අමතරව, පාරජම්බුල (UV) ආලෝකය යටතේ දීප්තිමත්ව බබළන 'crowned crab spider' සහ තමන් විෂ සහිත බව පෙන්වීමට රුධිරයේ පැහැයට හුරු තැඹිලි පාටින් හැඩවුණු, 'ලේඩිබර්ඩ්' කුරුමිණියන් අනුකරණය කරන මකුළු විශේෂයක්ද මෙහිදී අලුතින්ම හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සුන්දර සත්ව ලෝකය වර්තමානයේදී බරපතළ තර්ජනයකට මුහුණ පා සිටින බවයි ගවේෂකයන් පවසන්නේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා වනාන්තර විනාශ වීම, නීති විරෝධී දියමන්ති කැණීම් සහ හේන් ගොවිතැන වැනි හේතු නිසා මේ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි වෙමින් පවතිනවා. ලෝකයේ සත්ව විශේෂ මිලියන 8.7ක් පමණ ජීවත් වන බවට තක්සේරු කර තිබුණත්, විද්‍යාව මඟින් මෙතෙක් හඳුනාගෙන ඇත්තේ මිලියන 1.5ක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි.