අවුරුදු 30ක් තිස්සේ පුද්ගලයන් 147,000කට වැඩි පිරිසක් යොදාගෙන කරපු මේ දීර්ඝ පර්යේෂණයෙන් පැහැදිලි වෙන්නේ, අපි වයසට යද්දීත් ශක්තිමත්ව සහ ස්වාධීනව ඉන්න මේ සරල පුරුද්ද කොයිතරම් උදව් වෙනවාද කියන එකයි.
ලෙඩ රෝග රැසකට වැට බඳින ශක්තිජනක ව්‍යායාම
බර ඉසිලීමේ ව්‍යායාම කිව්වම අපේ මතකයට එන්නේ ජිම් එකකට ගිහින් කරන ලොකු වැඩක් වුණත්, Squats, Lunges සහ Dumbbell භාවිතයෙන් කරන සරල ව්‍යායාම මේ සඳහා හොඳම උදාහරණයි. මෙවැනි ව්‍යායාම මඟින් හෘද රෝග සහ ආඝාතය වැළඳීමේ අවදානම 19%කින් ද, ස්නායු ආශ්‍රිත රෝග ඇතිවීමේ ඉඩකඩ 27%කින් ද අඩු කරනවා.
විශේෂයෙන්ම කාන්තාවන් බහුලව සහභාගී වූ මේ අධ්‍යයනයට අනුව, ශරීරයේ මස්පිඬු ශක්තිමත් කිරීම මඟින් වයස්ගත වීමේදී ඇතිවන සෞඛ්‍ය ගැටලු රැසක් ප්‍රමාද කරගන්න හෝ සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න පුළුවන්.
ඇවිදීම, බයිසිකල් පැදීම සහ බර ඉසිලීමේ සුසංයෝගය
වඩාත්ම සෞඛ්‍ය සම්පන්න ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ බර ඉසිලීමේ ව්‍යායාම වගේම ඇවිදීම, දිවීම හෝ බයිසිකල් පැදීම වැනි හෘද ස්පන්දනය වැඩි කරන ව්‍යායාම එකට එකතු කරපු අයටයි. මේ ක්‍රම දෙකම සමබරව කරන පුද්ගලයන්ගේ ලෙඩ රෝග වැළඳීමේ අවදානම 58%ක් තරම් ඉහළ අගයකින් අඩු වී තිබෙනවා.
කෙසේ වුවත්, නව ව්‍යායාම රටාවක් ආරම්භ කිරීමට පෙර සුදුසු වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් නුවණට හුරුයි.