සාමාන්‍ය මිල්ක් චොකලට් වල වගේ කිරි හෝ බටර් අඩංගු නොවන නිසාත්, සීනි ප්‍රතිශතය ඉතා අඩු නිසාත් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසකින් ඩාර්ක් චොකලට් පොහොසත් වී තිබෙනවා.
විශේෂයෙන්ම තරුණියන් සහ කාන්තාවන් අතර ඩාර්ක් චොකලට් වලට තියෙන්නේ ඉහළ ඉල්ලුමක්. ඉතින්, ඔබත් දිනපතා ඔබේ ආහාර වේලට ඩාර්ක් චොකලට් කැබැල්ලක් එකතු කරගත යුත්තේ ඇයි කියලා අපි බලමු.
ඩාර්ක් චොකලට් කියන්නේ නිකන්ම රස කෑමක් නෙවෙයි, එය ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ සහ ද්‍රාව්‍ය තන්තු බහුලව අඩංගු පෝෂණීය ආහාරයක්. මෙහි ඇති විශේෂම වටිනාකම තමයි එහි අඩංගු ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණය. පොලිෆෙනෝල් සහ ෆ්ලැවනෝල් වැනි සිරුරට හිතකර සංයෝග රැසක් මෙහි අඩංගු වන නිසා හෘද රෝග සහ පිළිකා වැනි දරුණු ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු කරනවා.
එමෙන්ම, ආමන්ඩ් වැනි ඇට වර්ග සමඟ ඩාර්ක් චොකලට් එකතු කර ආහාරයට ගැනීමෙන් සිරුරේ ඇති අහිතකර "LDL" කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළන බවද පර්යේෂණ මඟින් තහවුරු කර තිබෙනවා.
ඔබේ ලේ ගමනාගමනය ක්‍රමවත් කර රුධිර පීඩනය පාලනය කිරීමටත් ඩාර්ක් චොකලට් වලට පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික රුධිර පීඩනය මෙන්ම දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීමටත් මෙය කදිම සහයෝගයක් ලබා දෙනවා.
නිතර වැඩ කරන, පාඩම් කරන අයට මතක ශක්තිය සහ අවධානය වැඩි කරගන්නත් ඩාර්ක් චොකලට් කදිම ඔසුවක්. එහි ඇති කැෆේන් සහ තියෝබ්‍රොමින් වැනි උත්තේජක මඟින් මොළයේ ක්‍රියාකාරිත්වය ක්ෂණිකව අවදි කර, දවස පුරා ඔබව ප්‍රබෝධමත්ව තැබීමට උදවු වෙනවා.
ඩාර්ක් චොකලට් කියන්නේ සැබවින්ම හදවතට මෙන්ම මනසටත් සුවය දෙන අපූරු ආහාරයක් වුණත්, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ කියන එකත් මතක තියාගන්න ඕනේ.
මෙහි ගුණාංග නිසා බර වැඩිවීමේ ප්‍රවණතාවක්ද පැවතිය හැකි බැවින්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට මෙය දිනපතා සුළු ප්‍රමාණවලින් පමණක් ආහාරයට ගැනීමට වගබලා ගන්න. ඔබට කිසියම් විශේෂිත රෝගාබාධයක් පවතී නම්, ප්‍රමාණය පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත්ම නුවණට හුරුයි.