පොතක් කියවන කොට හෝ අහගෙන ඉන්න කොට දරුවෙකුගේ මොළයේ සෛල උත්තේජනය වෙලා ධාරණ ශක්තිය සහ මතක තබා ගැනීමේ හැකියාව වේගයෙන් වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම එක දිගට කතාවකට අවධානය යොමු කරගෙන සිටීමට හුරුවීම නිසා දරුවන්ගේ ඒකාග්‍රතාවය සහ ඉවසීම බොහෝ දුරට වැඩි වෙනවා.
මාස 3ක සිටම පොඩිත්තන්ට පොත් ලබා දෙන්නට පුලුවන්.මාස තුනේ දී රෙදි වලින් සෑදූ පොත් ද බෝඩ් බුක්ස් ආදී පොත් ලබා දීමත්,පසුව ඒ ඔස්සේ පින්තූර කතා ආදී පොත් වෙතට යොමුකිරීම සිදුකිරීමට හැකියි.
පුංචි කාලයේදීම දරුවෙකුට පොත් කියවලා ඇහෙන්න සලස්වන කොට හෝ ඔවුන් රූප දෙස බලාගෙන කතාන්දර තේරුම් ගන්න උත්සාහ කරන කොට ඔවුන්ගේ භාෂා කුසලතාවය වගේම වචන මාලාවත් වේගයෙන් වර්ධනය වෙනවා.
ඒ වගේම තමයි කතාවක ගලායාම තේරුම් ගැනීමට උත්සාහ කිරීම මඟින් දරුවාගේ තර්කන ශක්තිය සහ මතක තබා ගැනීමේ හැකියාවත් ඉබේම දියුණු වෙනවා. මෙය ඔවුන්ගේ අනාගත අධ්‍යාපන කටයුතුවලටත් ලොකු පදනමක් වැටීමක්.
මීට අමතරව දරුවෙකුගේ පරිකල්පන ශක්තිය නැත්නම් අලුත් විදිහට හිතන්න තියෙන හැකියාව උපරිමයෙන්ම දියුණු කරන්න පොත්වලට පුළුවන්. සුරංගනා කතා, සතුන්ගේ කතා වගේ දේවල් කියවන කොට දරුවෝ තමන්ගේම මනඃකල්පිත ලෝකයක් මවා ගන්නවා. මේකෙන් ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් අවදි වෙනවා. ඒ වගේම කතාවල එන විවිධ චරිත මුහුණ දෙන ප්‍රශ්න සහ ඒවා විසඳන විදිහ දකින කොට, සැබෑ ජීවිතයේදීත් ප්‍රශ්න දෙස උපේක්ෂාවෙන් බලන්නත්, ස්වාධීනව තීරණ ගන්නත් දරුවා පෙළඹෙනවා.
පොත් කියවීම දරුවෙකුගේ ආවේග පාලනයට සහ මානසික සහනයටත් ලොකු උදව්වක් වෙනවා. අද කාලයේ දරුවෝ ටැබ්, ෆෝන් වගේ තිර දෙස බලාගෙන ඉන්න එකෙන් ඔවුන් කලබලකාරී වගේම නොඉවසිලිමත් චරිත බවට පත්වීමේ අවදානමක් තියෙනවා.
හැබැයි පොතක් නිසලව කියවන විට දරුවාගේ අවධානය එක තැනක රඳවා ගන්න ඔවුන් පුරුදු වෙනවා. කතාවක එන සතුට, දුක, කරුණාව වගේ හැඟීම් අත්විඳීමෙන් දරුවා තුළ සහකම්පනය කියන උසස් ගුණය වර්ධනය වෙනවා. අනුන්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් යහපත් පුද්ගලයෙක් බිහිවෙන්නේ මෙන්න මේ විදිහටයි.
අවසාන වශයෙන්, රෑට නින්දට යන්න කලින් දරුවා අසලින් වාඩි වෙලා කතාවක් කියවලා දෙන එකෙන් මව්පියන් සහ දරුවා අතර තියෙන බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. දවස පුරාම කාර්යබහුල වෙලා ඉන්න ඔබට දරුවා වෙනුවෙන් ආදරය සහ ආරක්ෂාව උපරිමයෙන්ම දැනෙන්න හරින්න පුළුවන් සුන්දරම මොහොතක් තමයි මේක. ඉතින් අද ඉඳන්ම ඔබේ පොඩිත්තා වෙනුවෙන් ලස්සන, වර්ණවත් පොතක් තෝරාගෙන ඔවුන්ගේ ලෝකය ලස්සන කරන්න පියවරක් තබන්න.