දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 788ක ගෝලීය ආදායමක් උපයා ඇති මෙම චිත්‍රපටය, ඉතා ඉක්මනින්ම ඩොලර් මිලියන 800 සීමාව පසු කිරීමට නියමිතයි. පසුගිය සති අන්තයේ පමණක් විදෙස් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 28.5ක් උපයා ගැනීමට මෙයට හැකි වුණා.
තවමත් ජපානය වැනි ප්‍රධාන සිනමා වෙළෙඳපොළක මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කර නොමැති අතර, ඉදිරියේදී ලොව වැඩිම ආදායමක් ඉපැයූ සංගීතමය ජීවිත කතා රැගත් සිනමා පටය බවට පත්වෙමින් ‘Bohemian Rhapsody’ තැබූ වාර්තාවද මෙය විසින් බිඳ දමනු ඇතැයි විචාරකයින් පවසනවා.
විලාසිතා ලෝලීන්ගේ නොමඳ ආදරය දිනාගත් ‘The Devil Wears Prada’ චිත්‍රපටයේ දෙවැන්නද මේ වන විට සිනමාශාලා තුළ අති සාර්ථක ලෙස තිරගත වෙනවා. තිරගත වී හතරවන සති අන්තය පසු කරන මෙම නිර්මාණය මේ වන විට ඩොලර් මිලියන 600ක බොක්ස් ඔෆිස් සීමාව පසුකර හමාරයි.
විශේෂයෙන්ම උතුරු ඇමරිකාවෙන් පරිබාහිර ජාත්‍යන්තර සිනමාප්‍රේක්ෂකයින් අතර මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, විදෙස් ප්‍රදර්ශනයෙන් පමණක් ඩොලර් මිලියන 408ක ආදායමක් උපයා තිබීම සුවිශේෂී කාරණයක්.
මේ අතර සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් මඟ බලාගෙන සිටි ඩිස්නි සමාගමේ නවතම ස්ටාර් වෝර්ස් (Star Wars) උපකතාවක් වන ‘The Mandalorian and Grogu’ පසුගියදා තිරගත වීම ආරම්භ වුණා. එහි පළමු සති අන්තයේදීම රටවල් 51කින් ඩොලර් මිලියන 64ක ආදායමක් වාර්තා කිරීමට එය සමත් වුණා.
බ්‍රිතාන්‍යය, ජර්මනිය, චීනය සහ ජපානය මෙහි ප්‍රධානතම ආදායම් උපයන්නන් බවට පත්ව තිබෙනවා. ජනප්‍රිය ඩිස්නි ප්ලස් (Disney+) රූපවාහිනී කතා මාලාවේ ඉදිරි දිගුවක් ලෙස ජෝන් ෆැව්රෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා පටය, වසර හතකට පසු සිනමාශාලා වෙත පැමිණි පළමු ස්ටාර් වෝර්ස් චිත්‍රපටය වීම නිසා සිනමා ක්ෂේත්‍රයට මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙනවා.