
මෙම අපූරු සිතුවම් පෙළ නිර්මාණය වීමේ අතීත කතාව 2025 වසර දක්වා දිවයන්නක්. කොළඹදී පැවති ආසියානු ඡායාරූප කලා ෆෙඩරේෂනයේ 28 වැනි ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි සිංගප්පූරු ඡායාරූප ශිල්පීන් පිරිසක්, ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පී සංගමය සමග එක්ව දිවයින පුරා සිදුකළ සංචාරයකදී ඔවුන්ගේ කැමරා ඇසට හසුකරගත් චමත්කාරජනක දසුන් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා.
ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමය, සොබාදහම මෙන්ම මිනිසුන් අතර පවතින අව්‍යාජ මානව සම්බන්ධතා ඔවුන්ගේ තෙවැනි ඇසින් අපූරුවට ප්‍රතිනිර්මාණය කර තිබූ අයුරු මෙහිදී කැපී පෙනුණා.

ප්‍රදර්ශනය විචිත්‍රවත් කිරීම සඳහා ඡායාරූප ශිල්පීන් 13 දෙනෙකුගේ විශිෂ්ට ගණයේ ඡායාරූප 74ක් ඇතුළත් කර තිබුණා. විශේෂත්වය වන්නේ මෙහි සිංගප්පූරු ජාතික ශිල්පීන් 7 දෙනෙකුට අමතරව ශ්‍රී ලාංකික ශිල්පීන් 6 දෙනෙකුගේ නිර්මාණ ද ප්‍රදර්ශනයට එක්කර තිබීමයි. නුවන් සමාධි, සංඛ සම්මාන, සම්පත් පීරිස්, සුගත් ෆොන්සේකා සහ තුසිත ලක්මාල් යන ලාංකේය ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණ ද මෙලෙස ජාත්‍යන්තර අවධානයට ලක්වීම මෙරට කලා ක්ෂේත්‍රයට ලැබුණු මහඟු ගෞරවයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම ප්‍රදර්ශනය සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් David Tay (FIAP උප සභාපති), Eric Goh (සිංගප්පූරු වර්ණ ඡායාරූප සංගමයේ සභාපති) සහ Seah Lia Bin (PAS සභාපති) ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් එක්ව සිටියා.
How Jwat Tan විසින් ඉතාමත් සංවිධානාත්මකව මෙහෙයවන ලද මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම දෙරටේ සංස්කෘතික බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමටත් තැබූ සුවිශේෂී පියවරක් ලෙස සටහන් වනවා.