මිල අධික ආලේපනවලට වඩා ඉතා අඩු වියදමකින් සමේ ගැටලු රාශියකට විසඳුම් ලබාදෙන්න ජලය පානය කිරීමෙන් පුළුවන්. දිනපතා නිසි ප්‍රමාණයට ජලය පානය කිරීමෙන් ලැබෙන සුවිශේෂී වාසි කිහිපයක් පිළිබඳවයි මේ ලිපිය..
සමේ පැහැය සහ තාරුණ්‍යය රැකගැනීම
නිරන්තරයෙන් ජලය පානය කිරීම මගින් ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය බැහැර වන අතර, එමගින් සමට නිරෝගී පෙනුමක් සහ දීප්තිමත් පැහැයක් ලැබෙනවා. පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ දිනකට නියමිත ජල ප්‍රමාණය පානය කිරීමෙන් සමේ රුධිර සංසරණය වැඩි වී සමේ පැහැය එක සමාන වන බවයි.
එමෙන්ම ජලය මගින් සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරන නිසා වයසට යාමත් සමඟ ඇතිවන රැලි වැටීම් සහ සම එල්ලා වැටීම් වළක්වාගෙන තරුණ පෙනුම වැඩි කාලයක් රඳවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
කුරුලෑ සහ සමේ ප්‍රදාහයන් පාලනය
සමේ තෙල් ස්වභාවය සහ තෙතමනය සමබරව පවත්වා ගැනීමට ජලය අත්‍යවශ්‍යයි. සිරුර විජලනය වූ විට සමේ තෙල් නිපදවීම වැඩි වන අතර, එය සිදුරු අවහිර වීමටත් කුරුලෑ ඇතිවීමටත් ප්‍රධාන හේතුවක් වෙනවා.
ජලය පානය කිරීමෙන් සමේ pH අගය නිවැරදිව පවත්වා ගැනීමට හැකි වන නිසා කුරුලෑ සහ විවිධ බිබිලි ඇතිවීම අවම වෙනවා. එමෙන්ම මුහුණේ ඇතිවන ඉදිමුණු ස්වභාවය අඩු කර ගැනීමටත් නිරන්තරයෙන් හයිඩ්‍රේටඩ් වී සිටීම ඉතා වැදගත්.
ස්වභාවික සත්කාර මගින් සමේ තෙතමනය වැඩි කරගන්නා ආකාරය
ජලය පානය කිරීමට අමතරව තවත් ස්වභාවික ද්‍රව්‍ය කිහිපයක් ජලයට එකතු කරගැනීමෙන් සමට අමතර පෝෂණයක් ලබාගන්න පුළුවන්. මින්ට් කොළ හෝ බැසිල් කොළ එකතු කළ ජලය පානය කිරීමෙන් ආහාර ජීර්ණය පහසු කරවන අතරම සමේ ඇතිවන ආසාදන පාලනය කරනවා.
එමෙන්ම විටමින් C බහුල ලෙමන් යුෂ ස්වල්පයක් ජලයට එක්කර ගැනීමෙන් සමේ කොලජන් නිෂ්පාදනය වැඩි වී සම දීප්තිමත් වන අතර, කුරුඳු හෝ මී පැණි ස්වල්පයක් ජලයට එක් කිරීමෙන් රුධිර සංසරණය ක්‍රමවත් වී සමේ පවතින ලප කැලැල් ඉවත් වීමට උපකාරී වෙනවා.
දිනකට කොපමණ ජලය ප්‍රමාණයක් පානය කළ යුතුද?
සාමාන්‍යයෙන් කාන්තාවකගේ සිරුරට දිනකට ලීටර් 2.7ක පමණ දියර ප්‍රමාණයක් (ජලය, පලතුරු සහ අනෙකුත් පාන වර්ග ඇතුළුව අවශ්‍ය වන බවයි. කෙසේ වෙතත් ඔබ වැඩිපුර වෙහෙස මහන්සි වී වැඩ කරන අයෙක් නම් හෝ අධික උණුසුම් පරිසරයක ජීවත් වන්නේ නම් මේ ප්‍රමාණය තවත් වැඩි විය යුතුයි.
විශේෂයෙන්ම උදෑසන අවදි වූ විගස මඳ උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වන නිසා සමේ නිරෝගී බව තවදුරටත් තහවුරු වෙනවා.
ජලය පානය කිරීම හොඳ වුවද, සිරුරට දරාගත නොහැකි තරම් අධික ලෙස ජලය පානය කිරීම (Overhydration) මගින් වමනය, කරකැවිල්ල වැනි රෝගී තත්ත්වයන් ඇති විය හැකි බැවින් හැමවිටම අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීමට වගබලා ගන්න.