කැලිෆෝනියා විශ්වවිද්‍යාලය නියෝජනය කරන ඇය, දකුණු ආසියානු සංස්කෘතියේ හැඩතල ක්‍රීඩාව සමඟ මුසු කරමින් මේ වන විටත් ලෝකයේම අවධානය දිනාගෙන අවසන්. ටියානා සහ ඇයගේ පුහුණුකාරිනී BJ Das එකතු වෙලා නිර්මාණය කරපු මේ ඉදිරිපත් කිරීම පිටුපස තියෙන්නේ හරිම අපූරු කතාවක්.
ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වෙලා තිබුණේ "බොලිවුඩ් කුමරියක්" (Bollywood Princess) වැනි තේමාවකින් යුත් නිර්මාණයක් කරන්නයි. පුදුමයකට වගේ මේ අදහස දෙදෙනාටම එකම වෙලාවක සිතුණු එකක් වීම විශේෂත්වයක්.
මේ නිසාම මෙහි නර්තන වින්‍යාසය නිර්මාණය කිරීම ඉතා පහසු වූ බවත්, පුහුණු වාර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණ වැඩකටයුතු නිම කිරීමට හැකි වූ බවත් ටියානා පවසන්නේ ඉතාමත් උද්‍යෝගයෙන්.
මෙම ඉදිරිපත් කිරීමේ තියෙන සුවිශේෂීම දේ තමයි එහි තියෙන අව්‍යාජ බව. ශ්‍රී ලාංකික උරුමය ආඩම්බරයෙන් වැළඳගන්නා ටියානා, දකුණු ආසියානු සංස්කෘතියට ආවේණික සිනහව සහ උද්යෝගය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකට රැගෙන ඒම ගැන නිහතමානීව සතුටු වෙනවා.
ඇය පවසන ආකාරයට, නරඹන්නන්ව ද තමන් සමඟ රිද්මයට එකතු කරගැනීමට ලැබීම ඇයට විශාල සතුටක්. පෑන් ඇමරිකන් රන් පදක්කම් ලාභිනියක වන ඇයගේ මේ විචිත්‍රවත් රංගනය, මෙවර Fort Worth හි පැවැත්වෙන NCAA ශූරතාවලියේදී UCLA කණ්ඩායමට විශාල ශක්තියක් වනු නොඅනුමානයි.