ශ්‍රී ලාංකික සැදැහැවත් බෞද්ධ ජනතාව මෙන්ම ලෝකවාසී සමස්ත බෞද්ධයෝ අද දිනයේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්, මහත් බැතියෙන් යුතුව පෝය දින ආගමික වතාවත්වල නිරත වෙති. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව, සිය ඥාතීන්ට ධර්මය දේශනා කිරීම උදෙසා ප්‍රථම වතාවට කිඹුල්වත්පුර නුවර බලා වැඩම කිරීම ආරම්භ කිරීම මැදින් පෝය දිනයේ සිදුවූ වැදගත්ම ඓතිහාසික සිදුවීමයි.
බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයේදී, සිය පුත්‍රයා දැකගැනීමේ දැඩි ආශාවෙන් පසුවූ සුද්ධෝදන රජතුමා, බුදුන් වහන්සේ කැඳවාගෙන ඒම සඳහා ඇමතිවරුන් නව දෙනෙකු යටතේ දහස බැගින් වූ පිරිවර නව වතාවක් පිටත් කර හැරියේය. එහෙත් ඒ කිසිවෙකුත් යළි නොපැමිණි අතර, අවසානයේදී රජුගේ ඉල්ලීම පරිදි කාලුදායි අමාත්‍යවරයා තවත් දහසක පිරිවරක් සමඟ ගොස් පැවිදි වී රහත් භාවයට පත් විය. ඉන්පසුව පරිසරය වඩාත් යෝග්‍ය මැදින් පුර පසළොස්වක පෝය දිනයකදී කාලුදායි මහරහතන් වහන්සේගේ ආරාධනයෙන්, විසිදහසක් පමණ වූ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුන් වහන්සේ මෙම ඓතිහාසික කිඹුල්වත්පුර ගමනය ආරම්භ කළ සේක.
රජගහනුවර සිට කිඹුල්වත්පුර නුවරට ඇති යොදුන් හැටක දුර ප්‍රමාණය, දිනකට එක් යොදුන බැගින් ගමන් කරමින් මාස දෙකකින් නිම කිරීමට උන්වහන්සේ කටයුතු කළහ. කිඹුල්වත්පුරයට වැඩම කළ බුදුන් වහන්සේට සහ රහතන් වහන්සේලාට වැඩසිටීම සඳහා ශාක්‍ය වංශිකයන් විසින් ‘නිග්‍රෝධාරාමය’ සූදානම් කර තිබුණි. එහිදී ශාක්‍ය වංශික වැඩිහිටියන්ගේ මානය බිඳ හෙළීම සඳහා බුදුරජාණන් වහන්සේ ‘යමාමහ පෙළහර’ පෑමද, එය දුටු සුද්ධෝදන රජතුමා තෙවන වරටත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමද මෙහිදී සිදුවූ සුවිශේෂී සිදුවීම් වේ.
කිඹුල්වත්පුර ගමනින් අනතුරුව බුදුරජාණන් වහන්සේ සිය පියාණන්ට ධර්මය දේශනා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සුද්ධෝදන රජු සෝවාන් ඵලයට පත් විය. එමෙන්ම, බුදුන් වහන්සේගේ ආදරණීය පුත්‍ර වූ රාහුල කුමරුන් සිය පියාණන්ගෙන් "දායාද" ඉල්ලා පසුපස ගිය අවස්ථාවේදී කුමරුන් සසුන්ගත කිරීම (පැවිදි කිරීම) ද සිදු විය. ඊට අමතරව නන්ද කුමරුන් පැවිදි කිරීම සහ යසෝදරා දේවියගේ ශෝකය සංසිඳවීම සඳහා 'චන්දකින්නර ජාතකය' දේශනා කිරීමද මෙම ගමනට සමගාමීව සිදුවූ තවත් අතිශය වැදගත් ශාසනික සිදුවීම් ලෙස බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
මෙවන් උතුම් ශාසනික වටිනාකම් රැසක් කැටි වූ අද දිනයේ, දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වැඩසටහන්, සීල සමාදාන, ධර්ම දේශනා සහ දානමය පුණ්‍යකර්ම රැසක් සංවිධානය කර ඇත. සැදැහැවත් බෞද්ධ ජනතාව සුදුවතින් සැරසී වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වෙමින්, බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගය ඔස්සේ තම ජීවිතය හැඩගස්වා ගැනීමට අද දිනයේ කටයුතු කරති.