
මෙම පෙරළිය මැනවින් සනිටුහන් කරමින්, Celebrity Xcel නෞකාවේ පිහිටි Le Voyage අවන්හල, ලොව ප්‍රථම වතාවට Forbes Travel Guide වෙතින් පංච තරු (Five-Star) සම්මානයක් දිනාගත් නෞකා අභ්‍යන්තර අවන්හල බවට පත්ව තිබේ. ප්‍රකට සූපවේදී ඩැනියෙල් බුලූඩ්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම අවන්හල, මුහුද මැදදී ගොඩබිම පවතින ඉහළම පෙළේ අවන්හලක අත්දැකීම ලබා දීමට සමත්ව ඇත.

නෞකාවේ මගීන් 4,000කට අධික පිරිසක් සිටියද, Le Voyage වෙත පිවිසිය හැක්කේ දිනකට අමුත්තන් 50 දෙනෙකුට පමණි. ඉතා පෞද්ගලික සහ නිදහස් වටපිටාවක පිහිටි මෙහි පිරිනමන සෑම ආහාරයක්ම නැවුම්ව, එසැණින් සකස් කරන ඒවා වීම විශේෂත්වයකි.
මස් සහ මාළු කැපීමේ සිට, පාන් සහ පැණිරස කෑම වර්ග සකස් කිරීම දක්වා සියල්ල නෞකාව තුළම සිදු කෙරේ. විශේෂයෙන්ම නෞකාව නතර කරන සෑම වරායකින්ම ලබාගන්නා දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන්, අමුත්තන්ට තමන් සංචාරය කරන කලාපයේ සැබෑ රසය විඳ ගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ.

මෙහි ඇති විශේෂිතම අත්දැකීම වන්නේ Chef’s Table භෝජනයයි. ෂැම්පේන් වීදුරුවකින් ආරම්භ වන මෙම රාත්‍රිය, නෞකාවේ මුළුතැන්ගෙය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවෙන් සහ පස් වැදෑරුම් විශේෂ ආහාර වේලකින් සමන්විත වේ.
Celebrity Cruises ආයතනය පවසන පරිදි, නූතන සංචාරකයින් බුෆේ ආහාර වේලකට වඩා යමක් බලාපොරොත්තු වේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ගමනාන්තයේ සංස්කෘතිය පිළිබිඹු කරන, සෞඛ්‍ය සම්පන්න සහ නව්‍යකරණය වූ ආහාර පානයි.

මේ නිසාම Xcel නෞකාව තුළ විවිධ රටවල රසයන් නියෝජනය කරන අවන්හල් 32ක් ස්ථාපිත කර ඇත. මීට අමතරව, මද්‍යසාර නොවන පාන වර්ග සඳහා ඇති ඉල්ලුම සලකා, ඉතා දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් සකස් කළ 'Mocktails' සඳහාද මෙහි සුවිශේෂී ඉඩක් වෙන් කර තිබේ.