ads
Feature

දැඩි මතධාරී පාලකයෙකු වූ අයතුල්ලා අලි කමේනි ගැන ඔබ දන්නවාද ?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඉරානයේ දේශපාලන හා ආගමික බලවතා ලෙස දශක තුනකට අධික කාලයක් කටයුතු කළ අයතුල්ලා අලි කමේනි, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් කමේනිට අමතරව ඔහුගේ පවුලේ සමීපතමයන් වන දියණිය, මුනුපුරා සහ බෑණාද ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම මැදපෙරදිග කලාපයේ පමණක් නොව සමස්ත ලෝක දේශපාලනයේම දැවැන්ත වෙනසක් සනිටුහන් කරන සංන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

විප්ලවීය සටන්කාමියෙකුගේ සිට රාජ්‍ය නායකත්වය දක්වා

your image

1939 වසරේ මෂාඩ් නගරයේ උපත ලැබූ අලි කමේනි, 1979 වසරේ ඉරාන ඉස්ලාමීය විප්ලවයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු විය. එවකට පැවති ෂා මොහොමඩ් රේසා පහ්ලවිගේ බටහිර හිතවාදී පාලනය පෙරළා දැමීම සඳහා ඔහු කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. 

ඉරානයේ පළමු උත්තරීතර නායක අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ ඔහු, 1981 සිට 1989 දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස සේවය කළේය. 1989 දී රුහොල්ලා කොමේනිගේ අභාවයෙන් පසු, අවශ්‍ය පූජක මට්ටමේ සුදුසුකම් පවා සපුරා නොතිබූ පසුබිමක, ව්‍යවස්ථාමය සංශෝධන හරහා ඔහු උත්තරීතර නායක ධුරයට පත් විය.

දැඩි මතධාරී විදේශ ප්‍රතිපත්තිය සහ කලාපීය බලය

කමේනිගේ පාලන කාලය පුරාවටම ඔහු අනුගමනය කළේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය කෙරෙහි දැඩි සතුරු සහගත පිළිවෙතකි. තම දේශසීමාවෙන් ඔබ්බට ඉරාන බලය ව්‍යාප්ත කිරීම සඳහා ඔහු මැදපෙරදිග පුරා සන්නද්ධ කණ්ඩායම් ජාලයක් ගොඩනැගීමට විශාල වශයෙන් ආයෝජනය කළේය. 

ලෙබනනයේ හිස්බුල්ලා, ගාසා තීරයේ හමාස්, යේමනයේ හූති සටන්කාමීන් සහ ඉරාකයේ විවිධ සන්නද්ධ කණ්ඩායම් වෙත ඩොලර් මිලියන ගණනින් මූල්‍ය සහ අවි ආයුධ සැපයීම ඔහුගේ ප්‍රධාන උපායමාර්ගය විය. මෙය කලාපීය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කළ සාධකයක් ලෙස බටහිර රටවල් නිරන්තරයෙන් චෝදනා කළහ.

අභ්‍යන්තර මර්දනය සහ මානව හිමිකම් චෝදනා

කමේනි යටතේ ඉරානය දැඩි මර්දනකාරී පාලන තන්ත්‍රයක් අනුගමනය කළ බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. විශේෂයෙන්ම පාලනයට එරෙහිව නැගී ආ විරෝධතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමට ඔහු පසුබට නොවීය. වාර්තා අනුව, 2024 වසරේදී අවම වශයෙන් පුද්ගලයින් 975 දෙනෙකුට සහ 2025 වසරේදී 1,000කට අධික පිරිසකට ඉරානය මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. මෙය පසුගිය වසර 15ක කාලය තුළ එරට වාර්තා වූ ඉහළම මරණ දඬුවම් සංඛ්‍යාව ලෙස සැලකෙන අතර, කමේනිගේ පාලනයේ පැවති දැඩි බව මෙයින් මොනවට පැහැදිලි වේ.

දේශපාලන උරුමය සහ අනාගත අස්ථාවරත්වය

ඔහුගේ පාලන සමය තුළ ජනාධිපතිවරුන් හත් දෙනෙකු යටතේ ඉරානය පාලනය වූ අතර, අවසාන තීරකයා ලෙස කමේනි සැමවිටම සිය ග්‍රහණය පවත්වා ගත්තේය. හය දෙනෙකුගෙන් යුත් දරුවන් පිරිසකගේ පියෙකු වූ ඔහු, ඉරානය ඉස්ලාමීය අනන්‍යතාවය තුළ දැඩිව රඳවා තබා ගැනීමට උත්සාහ කළේය. 

දශක තුනකට වැඩි කාලයක් පැවති මෙම පාලන අධිකාරිය ඔහුගේ මරණයත් සමග අවසන් වීමත් සමග, ඉරානයේ ඉදිරි දේශපාලන ස්ථාවරත්වය සහ කලාපීය බල අරගලය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී තිබේ. තොරතුරු විදෙස් මාධ්‍ය ඇසුරිනි.

✍️ නයනාංජලී හේවගේ 

0%
100%
0%
0%
Comments