මෙම රාත්‍රියේ දීප්තිමත්ම තරුව වූයේ 26 හැවිරිදි ඔලිවියා ඩීන්. ඇය හොඳම බ්‍රිතාන්‍ය ශිල්පිනිය, හොඳම ඇල්බමය සහ හොඳම පොප් ශිල්පිනිය ඇතුළු ප්‍රධාන සම්මාන හතරක්ම තමන් සතු කරගනිමින් බ්‍රිතාන්‍ය සංගීතයේ නව රැජින ලෙස කිරුළු පැළඳුවා.
මෙම උළෙල තවත් සුවිශේෂී වූයේ ස්පාඤ්ඤ ගායිකා රොසාලියා තැබූ අලුත් වාර්තාව නිසාවෙන්. ඉංග්‍රීසි නොවන වෙනත් භාෂාවකින් ගායනා කරන ලද නිර්මාණයක් වෙනුවෙන් බ්‍රිට්ස් සම්මානයක් දිනාගත් පළමු ශිල්පිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වුණා.
එමෙන්ම, K-Pop සංගීත කණ්ඩායම් අතරින් ප්‍රථම වතාවට බ්‍රිට්ස් සම්මානයක් දිනාගැනීමට Rosé සමත් වූයේ බෲනෝ මාර්ස් සමඟ එක්ව කළ "APT" ගීතය වෙනුවෙන්.
සංගීතයෙන් පමණක් නොව විලාසිතාවලින් ද මෙම රාත්‍රිය වර්ණවත් වුණා. හැරී ස්ටයිල්ස් සිය නවතම ගීතය වන "Aperture" ගායනා කරමින් උළෙල ආරම්භ කළා.
ජනප්‍රිය ගායිකා ඩුවා ලිපා ද සුපුරුදු පරිදි සිය ආකර්ෂණීය රංගනයෙන් වේදිකාව මත් කළ අතර, රොබී විලියම්ස් ඇතුළු පිරිස අභාවප්‍රාප්ත Ozzy Osbourne වෙනුවෙන් ඉදිරිපත් කළ උපහාරාත්මක ගීතය මුළු මැදිරියම හැඟීම්බර කිරීමට සමත් වුණා.
මැන්චෙස්ටර් නුවර වැසියන් ද මෙම උළෙල වෙනුවෙන් උපරිම සහයෝගයක් ලබා දුන් අතර, ඔලිවියා ඩීන්ට ගෞරවයක් ලෙස එරට දුම්රිය ස්ථානයක් "ඔලිවියා ඩීන්ස්ගේට්" (Olivia Deansgate) ලෙස නම් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබුණා. සියලු දෙනාගේ ආදරය මැද නිමාවුණු මෙවර බ්‍රිට්ස් සම්මාන උළෙල, බ්‍රිතාන්‍ය සංගීතයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ බව නොඅනුමානයි.