ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන "World Press Photo Exhibition 2025" ප්‍රදර්ශනය මෙවර අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා.
මෙම සුවිශේෂී ප්‍රදර්ශනය පෙබරවාරි 27 වන දා සිට මාර්තු 8 වන ඉරිදා දක්වා කොළඹ One Galle Face (OGF) පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, ඉන් අනතුරුව මහනුවර ප්‍රදේශයේ සිටින ඡායාරූප ලෝලීන් වෙනුවෙන් මාර්තු 13 වන සිකුරාදා සිට මාර්තු 16 වන සඳුදා දක්වා සහස් උයන පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරේ.
ලෝක මට්ටමේ ප්‍රමිතියෙන් යුත් මෙම නිර්මාණ නැරඹීමට පැමිණෙන ඔබට, ලෝකය දෙස අලුත් කෝණයකින් බැලීමටත්, ගෝලීය සමාජ-දේශපාලනික තත්ත්වයන් ඡායාරූප ශිල්පීන්ගේ ඇසින් අත්විඳීමටත් මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.
මෙවර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වූ නිර්මාණ ප්‍රමාණය සැබවින්ම විස්මිතයි. රටවල් 141ක ඡායාරූප ශිල්පීන් 3,778ක් විසින් ඉදිරිපත් කරන ලද 60,000කට ආසන්න ඡායාරූප අතරින්, අතිශය දුෂ්කර සහ විනිවිදභාවයකින් යුත් තේරීම් ක්‍රියාවලියකින් පසුව දක්ෂතම ඡායාරූප 42ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
විශේෂයෙන්ම මෙම නිර්මාණකරුවන් 42 දෙනාගෙන් 30 දෙනෙකුම තමන් ඡායාරූපකරණයේ යෙදුණු අදාළ ප්‍රදේශවලටම අයත් දේශීය ශිල්පීන් වීම මෙවර ප්‍රදර්ශනයේ ඇති සුවිශේෂත්වයයි.