ads
Entertainment

'වික්‍රමසිංහ නැවත කියවමු' රසික සම්භාෂණය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
හෙළ සාහිත්‍යයේ මහා ප්‍රාඥයා ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අනුපමේය යුග මෙහෙවර අගයනු වස් සංවිධානය කරන ලද "වික්‍රමසිංහ නැවත කියවමු" රසික සම්භාෂණය ඊයේ දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

නූතන සිංහල සාහිත්‍යයේ අනන්‍යතාවය ගොඩනැගීමට වික්‍රමසිංහයන් ඉටුකළ මෙහෙවර වර්තමාන පරපුරට යළි සිහිපත් කර දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

මෙම සම්භාෂණයට සමගාමීව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අගනා ග්‍රන්ථ එකතුවක් සහ එතුමාගේ ජීවන තොරතුරු විදහාපාන විරල ඡායාරූප ප්‍රදර්ශනයක් ද එදින පැවැත්විණි. එමෙන්ම වික්‍රමසිංහයන්ගේ ජීවන චරිතය සහ සාහිත්‍ය නිර්මාණ ඇසුරින් නිර්මාණය වූ "විකුම්සිහවත" කෙටි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම එහි සිටි රසිකයන්ගේ විශේෂ අවධානයට ලක් වූ අතර, මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් පවත්වනු ලැබූ හරබර දේශනය මගින් වික්‍රමසිංහයන්ගේ චින්තනය නූතන සමාජ දේශපාලනික සන්දර්භය තුළ කියවාගත යුතු ආකාරය පිළිබඳව මනා විවරණයක් ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම කලා සහ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ. ඒ අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය, කලා මණ්ඩල සභාපති කීර්ති වැලිසරගේ මහතා සහ සාහිත්‍ය අනුමණ්ඩල සභාපති කමල් පෙරේරා මහතා ද වූහ.

මීට අමතරව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ඇතුළු ප්‍රවීණ මහාචාර්යවරුන්, ලේඛක ලේඛිකාවන් සහ සාහිත්‍ය ලැදි සහෘදයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සම්භාෂණය අර්ථවත් සංවාද මණ්ඩපයක් බවට පත් විය.

0%
0%
0%
0%
Comments