
කාලයක් තිස්සේ රසිකයන් අතර පැතිරුණු කටකතා සැබෑ කරමින්, ඔවුන්ගේ විවාහ මංගල්‍යය රාජස්ථානයේ උදයිපූර් නගරයේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ "වසරේ විවාහ මංගල්‍යය" යන විරුදාවලිය ද සමඟයි. 'VIROSH' යනුවෙන් රසිකයන් ආදරයට හැඳින්වූ මේ සුසංයෝගය, තමන්ගේ පෞද්ගලිකත්වය රකිමින් ඉතාමත් සමීප පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රාජකීය උත්සවය පවත්වා තිබීම විශේෂත්වයක්.
මෙම මංගල උත්සවයේදී රහස්‍යභාවය ආරක්ෂා කිරීමට දැඩි පියවර ගෙන තිබූ අතර, ආරාධිතයන්ට ජංගම දුරකථන භාවිතය පවා තහනම් කර තිබුණා. එමෙන්ම, Netflix සමාගම මංගල්‍යයේ වීඩියෝ අයිතිය සඳහා ඉන්දීය කෝටි 60ක දැවැන්ත මුදලක් යෝජනා කළත්, රෂ්මිකා සහ විජේ එය කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබුණේ "තම ජීවිතයේ වටිනාම මොහොත මුදලට වඩා වටිනා" බව පවසමින්. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා මෙම නව යුවළට සුබ පැතුම් එක් කර තිබීමෙන් පෙනී යන්නේ ඔවුන් දෙදෙනා ඉන්දීය සිනමාව තුළ ගොඩනගාගෙන ඇති දැවැන්ත ජනප්‍රියත්වයයි.

විවාහයෙන් අනතුරුව රෂ්මිකා මන්දානා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉතාමත් හැඟීම්බර සටහනක් තබා තිබුණා. ඇය එහි සඳහන් කර තිබුණේ මෙවැන්නක්:
"මගේ ආදරණීයයන්ට, මම අද ඔබට හඳුන්වා දෙනවා මගේ ස්වාමිපුරුෂයාව! Mr. Vijay Deverakonda! සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා මට කියලා දුන්නු, හිතේ සැනසීමෙන් ඉන්න හැටි මට පෙන්වලා දුන්නු ඒ අපූරු මිනිසා ඔහුයි.ඕනෑම තැනක නිදහසේ නටන්න මට කිසිම දිනක බාධා නොකළ, යාළුවොත් එක්ක සංචාරය කරන එක කොයිතරම් සුන්දරද කියලා මට පෙන්නපු මේ මිනිසා ගැන මට පොතක් වුණත් ලියන්න පුළුවන්. අද මම මම වෙලා ඉන්නේ ඔබ නිසා. විජ්ජු, ඔයාගේ බිරිඳ කියලා කියවාගන්න මම ගොඩක් ආසයි! Let’s have the bestestest life ever together! I love you!"
සෑම විටම තැන්පත් සහ සෘජු චරිතයක් වූ විජේ දේවරකොණ්ඩා ද රෂ්මිකා වෙනුවෙන් සිය ආදරය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ ඉතාමත් සංවේදී අයුරින්:''මම මගේ හොඳම මිතුරිය, මගේ බිරිඳ බවට පත් කරගත්තා''

2018 වසරේ තිරගත වූ "ගීතා ගෝවින්දම්" චිත්‍රපටයෙන් ඇරඹුණු ඔවුන්ගේ රිදී තිරයේ ආදරය, පසුව "ඩියර් කොම්රඩ්" හරහා තවදුරටත් තහවුරු වුණා. එතැන් පටන් ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ පෙම්වතුන් බවට කතා පැතිරුණත්, දෙදෙනාම නිරන්තරයෙන් ප්‍රකාශ කළේ තමන් හොඳම මිතුරන් පමණක් බවයි. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික වත්පිළිවෙත්වලට ගරු කරමින් රෂ්මිකාගේත් විජේගේත් පවුල්වල සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම මංගල්‍යයත් සමඟ ඒ සොඳුරු මිතුදම දැන් ආදරණීය විවාහයක් බවට පත්ව තිබෙනවා.
ඉන්දියාවේ "National Crush" ලෙස විරුදාවලි ලත් රෂ්මිකා සහ "අර්ජුන් රෙඩ්ඩි" හරහා තරුණ පරපුරේ උමතුවක් බවට පත් වූ විජේ, විවාහයෙන් පසුව මාසයක කාලයක් වෘත්තීය කටයුතු වලින් බැහැරව තම මධුසමය ගත කිරීමට සැලසුම් කර තිබෙනවා. සිනමා ලොවේ දැවැන්ත නිර්මාණ රැසකට දායක වෙමින් සිටින මේ දෙපළගේ නව දිවියට ලොව පුරා විසිරී සිටින රසික රසිකාවියන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කරමින් සිටිනවා. විදෙස් මාධ්‍ය ඇසුරිනි