මිරිස්ස: විවේකය සහ වික්‍රමය මුසු වූ දකුණු වෙරළේ පාරාදීසය

ආසියාවේ 5 වන ස්ථානය දිනාගත් මිරිස්ස වෙරළ තීරය, දකුණු ලක සොඳුරුතම ඉසව්වක් ලෙස සංචාරකයින්ගේ ආකර්ෂණය නිරන්තරයෙන් දිනාගන්නා ස්ථානයකි. නිල් පැහැති පැහැදිලි දිය දහර සහ රන්වන් වැලිතලාවෙන් සුසැදි මිරිස්ස, සන්සුන්ව දියකෙළියේ යෙදෙන්නට මෙන්ම ‘Mirissa Right’ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙන්නන්ට ද කදිම නවාතැනකි. සැඳෑ දහවලේ කොකනට් ට්‍රී හිල් මත හිඳ හිරු බැස යන දසුන නැරඹීමටත්, වෙරළ අද්දර පිහිටි අවන්හල්වලින් නැවුම් මුහුදු ආහාර රසවිඳීමටත් ලැබෙන අවස්ථාව මිරිස්සට ආවේණික වූ සුවිශේෂී අත්දැකීමකි.
බෙන්තොට: ජල ක්‍රීඩා ලෝලීන්ගේ සිහින ගමනාන්තය

නිරිතදිග වෙරළ තීරයේ අභිමානය වන බෙන්තොට වෙරළ මෙවර ආසියාවේ 7 වන ස්ථානය හිමිකරගෙන ඇත. සුදු වැලිතලාවෙන් හැඩවුණු බෙන්තොට, ජෙට් ස්කී සහ කයිට් සර්ෆින් වැනි ජල ක්‍රීඩා සඳහා ලෝක ප්‍රසිද්ධියක් උසුලයි. ජල ක්‍රීඩාවලට අමතරව, සන්සුන්ව වෙරළේ ඇවිද යමින් හිරු රශ්මිය විඳ ගැනීමට කැමති සංචාරකයින් සඳහා ද බෙන්තොට වඩාත් උචිත වේ. සොබාදහමේ සුන්දරත්වය සහ ක්‍රියාශීලී සංචාරක අත්දැකීම්වල මනා සංකලනයක් බෙන්තොට වෙරළේදී දැකගත හැකිය.
ආසියාවේ හොඳම වෙරළ තීරයන් 10 මෙන්න

මෙවර ආසියාවේ හොඳම වෙරළ තීරය ලෙස තේරී පත්ව ඇත්තේ තායිලන්තයේ ඵුකෙට් හි පිහිටි ‘බනානා බීච්’ (Banana Beach) වෙරළයි. ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින සෙසු ගමනාන්ත අතර ඉන්දුනීසියාවේ කෙලින්කින් (Kelingking) සහ ඉන්දියාවේ රාධානගර් (Radhanagar) වෙරළ තීරයන් ද වෙයි. ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව වැනි රටවල් ද මෙම ප්‍රමුඛතම ස්ථාන දහය අතරට ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.