1970 දශකයේ අගභාගයෙන් පසු මෙම දැවැන්තයින් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කරන සම්පූර්ණ චිත්‍රපටයක් දැකගැනීමට ප්‍රේක්ෂකයින්ට කිසිදු අවස්ථාවක් නොලැබුණු අතර, වසර 47කට පසු ඒ සිහිනය සැබෑ කරමින් ඔවුන්ගේ නවතම චිත්‍රපටයේ පළමු ප්‍රවර්ධන වීඩියෝව හෙවත් ප්‍රෝමෝව පසුගිය පෙබරවාරි 21 වැනිදා අන්තර්ජාලයට මුදා හැරුණි. "KH x RK" යන තාවකාලික නාමයෙන් හඳුන්වා ඇති මෙම චිත්‍රපටයේ ප්‍රෝමෝව නිකුත් වී පැය කිහිපයක් ඇතුළත මිලියන ගණනක් නරඹා ඇති අතර, එය සමස්ත අන්තර්ජාලයම කැලඹීමට සමත් වී ඇත.
මෙම සුසංයෝගය දකුණු ඉන්දීය සිනමාවට පමණක් නොව සමස්ත ඉන්දීය සිනමාවටම සුවිශේෂී සන්ධිස්ථානයකි. ඔවුන් දෙදෙනා සිය සිනමා ගමන ආරම්භ කළේ ප්‍රවීණ සිනමාවේදී කේ. බාලචන්දර්ගේ මඟපෙන්වීම යටතේය. එදා 'අපූර්ව රාගංගල්', 'මූන්ඩෘ මුඩිච්චු', '16 වයදිනිලේ' සහ 'නිනෙයිත්තාලේ ඉනික්කුම්' වැනි සම්භාව්‍ය සිනමාපට ගණනාවක ඔවුන් එකට රඟපෑවද, 1979 වසරේ තිරගත වූ 'අලාවුද්දීනුම් අද්භූත විලක්කුම්' චිත්‍රපටයෙන් සහ 1985 තිරගත වූ හින්දි චිත්‍රපටයක් වන 'ගෙරෆ්තාර්' හි විශේෂ පෙනී සිටීමෙන් පසු ඔවුහු එකට රඟපෑමෙන් වැළකී සිටියහ. තමන්ට එකම චිත්‍රපටයක රඟපෑමෙන් ලැබෙන සීමිත අවකාශය මඟහැර, තම තමන්ගේම අනන්‍යතාවයන් ගොඩනඟා ගනිමින් සිනමාවේ ඉහළම තලයට පැමිණීමට ඔවුන් දෙදෙනාම තීරණය කළහ. කමල් හාසන් වරක් පවසා තිබුණේ "එක බිස්කට් එකක් දෙකට කඩා බෙදාගන්නවාට වඩා දෙදෙනාටම සම්පූර්ණ බිස්කට් එක බැගින් ලැබිය යුතු නිසා අපි වෙන් වුණා" යනුවෙනි. අද වන විට රජිනිකාන්ත් සිනමාවේ "ස්ටයිල්" සහ වාණිජමය සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන අතර, කමල් හාසන් යනු අසමසම රංගන කෞශල්‍යයෙන් යුතු සිනමා පුරාවෘත්තයකි. මෑතකදී කමල් හාසන් 'වික්‍රම්' චිත්‍රපටය හරහා අතිවිශාල සාර්ථකත්වයක් අත්කරගත් අතර, රජිනිකාන්ත් 'ජේලර්' සහ 'කූලි' වැනි චිත්‍රපට හරහා තමන්ගේ තරු ගුණය තවමත් නොනැසී පවතින බව ලොවටම ඔප්පු කර පෙන්වීය.
අධ්‍යක්ෂක නෙල්සන් දිලිප්කුමාර් විසින් නිර්මාණය කර ඇති මෙම නවතම ප්‍රෝමෝ වීඩියෝව හාස්‍යයෙන් සහ අපූරු සංකල්පයකින් සමන්විතය. වීඩියෝව ආරම්භ වන්නේ නෙල්සන්, කමල් හාසන් සහ රජිනිකාන්ත් යන දෙදෙනාගේ කාමර දෙකෙන් පළමුව කුමන කාමරයට යා යුතුදැයි සිතමින් හෝටලයක කොරිඩෝවක ව්‍යාකූලව ඇවිදින දර්ශනයකිනි. එම අවස්ථාවේදී එතැනට පැමිණෙන සංගීත අධ්‍යක්ෂක අනිරුද් රවිචන්දර් ද තමන්ට සංගීත නිර්මාණය සඳහා රාග දෙකකින් (ෂන්මුඛප්‍රියා ද එසේත් නැත්නම් කෝකිලාප්‍රියා ද) එකක් තෝරාගැනීමට නොහැකිව ඇඟිලි දෙකක් පෙන්වා නෙල්සන්ට එකක් තෝරන ලෙස පවසයි. මෙම විනෝදාත්මක අවස්ථාවෙන් පසු නෙල්සන් දෙදෙනාගේම කාමරවලට ගොස් ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් තෝරාගැනීමට උදව් කරයි. එහිදී ද එක් තරුළුවෙකු තෝරාගන්නා කබාය හෝ සපත්තු යුගළ අනෙකා ප්‍රතික්ෂේප කරන ආකාරය ඉතා විනෝදාත්මක ලෙස නිරූපණය කර ඇත. අවසානයේදී තරු දෙදෙනාම රෙට්රෝ මාදිලියේ සම් කබා පැලඳගෙන, රන් ඔරලෝසු සහ අව් කණ්ණාඩි සහිතව දැඩි පෞරුෂයකින් යුතුව එළියට පැමිණෙති.
ප්‍රෝමෝවේ වඩාත්ම ආකර්ෂණීය අවස්ථාව උදා වන්නේ මේ දැවැන්තයින් දෙදෙනාම අඳුරු ගරාජයක නවතා ඇති පැරණි මාදිලියේ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයකට නැඟුණු පසුවය. කමල් හාසන් රියදුරු අසුනට ගොඩවන අතර රජිනි ඔහු අසල අසුනේ වාඩි වෙයි. පිටුපස අසුනේ නෙල්සන් සහ අනිරුද් සිටිති. "බීතෝවන් සහ බප්පි ලහරිගේ සංගීත සම්ප්‍රදායන් මිශ්‍ර කර හැදූ තේමා සංගීතයක් තියෙනවා, අපි ඒක අහමුද?" යැයි අනිරුද් අසන විට, කමල් හාසන් එය ප්‍රතික්ෂේප කරමින් නෙල්සන්ගෙන් ඉතා බැරෑරුම් ලෙස අසන්නේ "ඒවා පස්සේ බලමු, මුලින්ම කියනවා කවුද මේ චිත්‍රපටයේ වීරයා ?" කියාය. වහාම රජිනිකාන්ත් ද තම සුපුරුදු ආකර්ෂණීය විලාසයෙන් යුතුව එම ප්‍රශ්නයම නෙල්සන්ගෙන් අසයි. මෙම ගැටලුව ප්‍රේක්ෂකයාට ඉතිරි කරමින් වීඩියෝව අවසන් වන අතර, එය සමාජ මාධ්‍ය පුරා දැවැන්ත කතිකාවතක් නිර්මාණය කර ඇත. ඇතැම් රසිකයින් පවසන්නේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වීරයා ලෙසත් අනෙකා දුෂ්ටයා ලෙසත් රඟපානු ඇති බවයි. තවත් සමහරු පවසන්නේ ඔවුන් දෙදෙනාම අළු පැහැති චරිත හෙවත් යහපත සහ අයහපත මිශ්‍ර වූ චරිත නිරූපණය කරනු ඇති බවයි. කුමන මතයක් පල වුවද, නෙල්සන් දිලිප්කුමාර්ගේ සුපුරුදු "ඩාර්ක් කොමඩි" සහ ක්‍රියාදාම ශෛලිය මෙම චිත්‍රපටය තුළින් උපරිමයෙන්ම දැකගත හැකි වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරති.
Red Giant Movies ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම සුවිශේෂී සිනමා නිර්මාණය ඉන්දීය සිනමා ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපටයක් වනු නිසැකය. 'බීස්ට්', 'ඩොක්ටර්', සහ 'ජේලර්' වැනි අතිසාර්ථක චිත්‍රපට නිර්මාණය කළ නෙල්සන් දිලිප්කුමාර් මෙහි අධ්‍යක්ෂණයෙන් ද, තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගත් අනිරුද් රවිචන්දර් සංගීතයෙන් ද, සහ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂක රජීව් මෙනන් කැමරාකරණයෙන් ද මෙම චිත්‍රපටය හැඩගන්වති. නිෂ්පාදන ආයතනය පවසන පරිදි මෙය පරම්පරා ගණනාවක් පුරා සමරනු ලබන අපූරු සිනමා අත්දැකීමක් වනු ඇත. රජිනිකාන්ත්ගේ අද්විතීය රංගන විලාසය හෙවත් "ස්ටයිල්" එකත්, කමල් හාසන්ගේ විවිධත්වයෙන් යුත් රංගන කුසලතාවයත් එකම තිරයකින් දැකගැනීමට ලැබීම ප්‍රේක්ෂකයින්ට ලැබෙන මිල කළ නොහැකි තෑග්ගකි. තවමත් නිල නාමයක් ප්‍රකාශයට පත් කර නැති මෙම "KH x RK" ව්‍යාපෘතිය, දැනටමත් ඉන්දීය සිනමාවේ ලොකුම බලාපොරොත්තුව බවට පත්ව තිබේ. බොක්ස් ඔෆිස් වාර්තා සියල්ල අලුත් කරමින්, රුපියල් කෝටි දහසේ සමාජය පවා පහසුවෙන් පසුකර යාමට තරම් විභවයක් මෙම චිත්‍රපටයට ඇත. දෙමළ සිනමාවට පමණක් නොව ලෝක සිනමාවටම නව පරිච්ඡේදයක් එක් කිරීමට මෙම රජිනි - කමල් සුසංයෝගය සමත් වනු ඇති බවට කිසිදු සැකයක් නැත. මුළු සිනමා ලෝකයම දැන් බලාපොරොත්තු සහගතව බලා සිටින්නේ මේ දැවැන්ත සිනමා රූපණය රිදී තිරය මත දිගහැරෙන තුරුය.