ඔබ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් බැස රට තුළට පිවිසෙන ඒ සුන්දර මොහොත පිටුපස ඇති දැවැන්ත හා කාර්යක්ෂම මෙහෙයුම දැන් ලෝකයේම පැසසුමට ලක්ව තිබෙනවා.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වන ගුවන්තොටුපල හා භූමි මෙහෙයුම් ප්‍රධානී දීපාල් පල්ලේගන්ගොඩ මහතා පවසන්නේ, ජාත්‍යන්තරව පිළිගත් ඉහළම ආරක්ෂක ප්‍රමිතීන් සහ කාර්යක්ෂම සේවා මාලාවක් අනුගමනය කිරීම මෙම සාර්ථකත්වයට මග පෑදූ බවයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ සේවා ගුවන් සමාගම් මෙන්ම අඩු වියදම් ගුවන් යානා සහ විශේෂ ගුවන් යානා සඳහාද මෙමගින් ලබා දෙන්නේ අසමසම සේවාවක්. ලෝකයේ ඕනෑම දියුණු ගුවන්තොටුපලක අත්දැකීම අපේ රටේදීත් ගුවන් මගීන්ට ලබා දීමට ඔවුන් සමත්ව සිටිනවා.
සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී මෙම මෙහෙයුමේ ඇති දැවැන්ත බව මැනවින් පැහැදිලි වනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පමණක් මසකට ගුවන් යානා 5,200 ක් පමණ හසුරුවන අතර, මගීන්ගේ ගමන්මලු ලක්ෂ 5 ක් පමණ ඉතා සුරක්ෂිතව සහ කාර්යක්ෂමව කළමනාකරණය කරනු ලබනවා.
විශේෂයෙන්ම 2025 වසරේදී පමණක් ගුවන් මගීන් මිලියන 9.9 කට අධික සංඛ්‍යාවකට සේවා සැපයීම හරහා ශ්‍රී ලංකාව කලාපීය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් තහවුරු වී තිබෙනවා.
ඔබේ මීළඟ විදෙස් සංචාරයේදී හෝ මෙරටට පැමිණෙන ගමනේදී, ගුවන්තොටුපල තුළ ඔබ ලබන ඒ සුහදශීලී සහ ක්‍රමවත් අත්දැකීම පිටුපස සිටින්නේ ලෝකයම ජයගත් අපේම දක්ෂයින් පිරිසක් බව අමතක කරන්න එපා. ශ්‍රී ලාංකේය සත්කාරය ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ මුසු වූ විට ලැබෙන ප්‍රතිඵලය ඇත්තටම ආඩම්බරකාරීයි.