
මෙවර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් මුළු මහත් ආසියාවටම ගෞරවයක් ගෙන ඒමට සිංගප්පූරුව සමත්ව තිබෙනවා. මෙය නූතන නගරයක් ලෙස පමණක් නොව, ලෝකයේ ප්‍රබලතම සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පූරුව ලැබූ විශාල ජයග්‍රහණයක්.
සිංගප්පූරුව කිව් සැණින් අපේ මතකයට එන්නේ අහස සිඹින ගොඩනැඟිලි සහ සුපිරි සාප්පු සංකීර්ණ වුවත්, මෙවර ඔවුන් ලෝකයේ අංක එකේ සංස්කෘතික ගමනාන්තය බවට පත්වූයේ එහි ඇති ගැඹුරු උරුමය නිසයි. සිංගප්පූරුවේ ඇති 'Little India', 'Chinatown' සහ 'Kampong Glam' වැනි ඓතිහාසික දිස්ත්‍රික්ක තුළින් පිළිබිඹු වන බහු-සංස්කෘතික අනන්‍යතාවය ලොව කොහේවත් දැකිය නොහැකි තරම් සුවිශේෂීයි.

එමෙන්ම, ජාතික කලාගාරය සහ විස්මිත නවීන වාස්තු විද්‍යාවන් සංචාරකයින්ට පසක් කරන්නේ සිංගප්පූරුව යනු ඉතිහාසය රැකගනිමින් අනාගතය දෙස බලන රටක් බවයි. ලොව පුරා සංචාරකයින්ගේ වැඩිම මනාපය මේ පුංචි දූපත් රාජ්‍යයට හිමිවූයේ එහි ඇති පිරිසිදුකම, ආරක්ෂාව සහ විවිධ ජාතීන්ගේ උත්සව හා ආහාර සංස්කෘතීන් එකම තැනකදී අත්විඳීමට ඇති හැකියාව නිසයි.
මෙවර ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයයි. සියවස් ගණනාවක රාජකීය ඉතිහාසය, ලෝක ප්‍රසිද්ධ කෞතුකාගාර සහ වෙස්ට් එන්ඩ් නාට්‍ය සංස්කෘතිය නිසා ලන්ඩනය තවමත් ලෝකයේ සංස්කෘතික ප්‍රේමීන්ගේ පාරාදීසයක් ලෙස පවතිනවා. පෞරාණික මාලිගා මෙන්ම නවීන කලාගාර එකිනෙකට පසෙකින් පිහිටා තිබීම ලන්ඩනයට ආවේණික වූ සුන්දරත්වයක් එක් කරනවා.

තෙවන ස්ථානය හිමිව තිබෙන්නේ පෝලන්තයේ ක්‍රැකෝව් (නගරයටයි. මධ්‍යකාලීන යුගයේ අලංකාරය එලෙසම රැකගෙන ඇති ක්‍රැකෝව්, යුරෝපයේ ඉතිහාසය සොයා යන සංචාරකයින්ට මඟ හැරිය නොහැකි නගරයක්. එහි ඇති 'Old Town' ප්‍රදේශය සහ යුද ඉතිහාසයට සාක්ෂි දරන ස්මාරක ලෝක උරුමයන් ලෙස සැලකෙන අතර, එය යුරෝපයේ වඩාත්ම ආකර්ශනීය සංස්කෘතික නගරයක් ලෙස මෙවර ඇගයීමට ලක්ව තිබෙනවා.
සිංගප්පූරුවට අමතරව වියට්නාමයේ හැනෝයි නගරය හත්වන ස්ථානයටත්, ඉන්දුනීසියාවේ සුන්දර බාලි දූපත දසවන ස්ථානයටත් තේරී පත්ව තිබෙනවා. හැනෝයි නගරය එහි ඇති ප්‍රංශ ආභාසය සහිත ගොඩනැඟිලි, වීදි ආහාර සංස්කෘතිය සහ වසර දහස් ගණනක ඉතිහාසය නිසා සංචාරකයින්ගේ නොමඳ ආකර්ෂණය දිනාගෙන සිටිනවා.
අනෙක් අතට බාලි දූපත යනු වෙරළ තීරයන්ට පමණක් සීමා වූ තැනක් නොවේ. එහි ඇති හින්දු දේවස්ථාන, සාම්ප්‍රදායික නැටුම් සහ ආධ්‍යාත්මික සුවය සොයන සංචාරකයින් සඳහා වන වැඩසටහන් බාලි දූපත ලෝකයේ සංස්කෘතික මුද්‍රාවක් බවට පත් කර තිබෙනවා.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම් දෙස බැලීමේදී පැහැදිලි වන කරුණක් වන්නේ, වර්තමාන සංචාරකයින් විවේකය සඳහා පමණක් රටවල් තෝරා නොගන්නා බවයි. ඔවුන් සොයන්නේ තමන් යන ගමනාන්තයේ ජීවමාන සංස්කෘතිය සම්ප්‍රදායන් සහ ඉතිහාසය සමඟ බද්ධ වීමේ අවස්ථාවයි.
ආසියාව මේ අංශයෙන් පෙරමුණ ගැනීම තුළින් පෙනී යන්නේ ලෝක සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය පෙරදිග දෙසට වේගයෙන් ගමන් කරමින් පවතින බවයි. ඔබත් 2026 වසරේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ලැයිස්තුවේ පෙරමුණේ සිටින මේ අපූරු නගර ඔබේ ලැයිස්තුවටත් ඇතුළත් කරගැනීමට අමතක කරන්න එපා.