1983 වසරේ සිට නොකඩවා පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රසංගය, වර්තමානය වන විට ලොව වැඩිම පිරිසක් සජීවීව නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස ගිනස් වාර්තා අතරට පවා එක්ව තිබීම විශේෂත්වයක්. එය රූපවාහිනී වැඩසටහනකට එහා ගිය, චීන සංස්කෘතියේ සහ තාක්ෂණයේ සුසංයෝගයක් බඳු වූ අත්දැකීමක් ලෙසයි හැඳින්විය හැක්කේ.
මෙවර ප්‍රසංගයේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ එහි ඇති ගෝලීය ව්‍යාප්තියයි. ලොව පුරා රටවල් 200කට අධික සංඛ්‍යාවක, මාධ්‍ය ආයතන 3000කට ආසන්න ප්‍රමාණයක් හරහා මෙම ප්‍රසංගය සජීවීව විකාශය කෙරුණා.
විශේෂයෙන්ම CGTN ජාලයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු නාලිකා මෙන්ම භාෂා 82කින් යුත් විවිධ මාධ්‍ය වේදිකා ඔස්සේ මෙය ලොව පුරා වෙසෙන ජනතාව වෙත සමීප කිරීමට කටයුතු යොදා තිබුණා.
ප්‍රසංගය පුරාවට දිග හැරුණු අංගයන් නරඹන්නන්ව මවිතයට පත් කිරීමට සමත් වුණා. සාම්ප්‍රදායික චීන නැටුම්, ගැයුම් සහ ඔපෙරා කලාවන්ට මුල් තැනක් ලැබී තිබූ අතර, චීන සටන් කලාවන්හි ජීව ගුණය මැනවින් විදහා දැක්වීමට ශිල්පීන් සමත් වුණා.
මීට අමතරව, නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉදිරිපත් කළ මානවරූපී රොබෝ නර්තන වැනි විශේෂාංග ප්‍රසංගයට එක් කළේ අනාගතවාදී හැඩයක්. පැරණි උරුමය සහ නවීන නවෝත්පාදනයන් මෙලෙස එකම වේදිකාවක හමුවීම හරහා චීන සංස්කෘතියේ අනන්‍ය චමත්කාරය ලොවටම කියා පෑවා.