රැහැන් රහිත විදුලි සන්දේශ ක්‍රමයක් නිර්මාණය කිරීමේ පුරෝගාමියා වූ ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි මහතා ගුවන් විදුලියේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන අතර, ඒ වෙනුවෙන් ඔහු 1909 වසරේදී භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.
ලෝක ගුවන් විදුලි දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ මූලික යෝජනාව 2010 වසරේ සැප්තැම්බර් මාසයේදී ස්පාඤ්ඤ ගුවන් විදුලි ඇකඩමිය විසින් යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව 2012 වසරේදී පළමු වරට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් නිල වශයෙන් මෙම දිනය සමරනු ලැබුවේ ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගෙන වසර 118ක් සපිරුණු මොහොතකදීය. අද වන විටත් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන, විනෝදාස්වාදය මෙන්ම අධ්‍යාපනය ද එකවර ලබා දෙන සරලම සහ සමීපතම මාධ්‍යය බවට ගුවන් විදුලිය පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසය ද දශක ගණනාවක් ඈතට දිව යන්නකි. 1920 දශකයේ සිට මෙරට ජන ජීවිතයට සමීප වූ ගුවන් විදුලිය, හුදු තොරතුරු ප්‍රචාරකයෙකුට එහා ගිය සංස්කෘතික බැඳීමක් නිර්මාණය කළේය.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ නියෝජනය කරමින් ගුවන් විදුලි සේවා 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. නව තාක්ෂණයේ ආගමනයත් සමඟ ඩිජිටල් අවකාශය තුළ ද ගුවන් විදුලිය සිය අනන්‍යතාවය රැක ගනිමින් ජන හදවත් අමන්දානන්දයට පත් කරමින් සිටියි.