තමන් සිනමා ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාවය සොයමින් සිටි මුල් අවධියේදී බර්ලින් සිනමා උළෙලෙන් ලැබුණු සහයෝගය සහ පිළිගැනීම සිය වෘත්තීය ජීවිතයට බෙහෙවින් වැදගත් වූ බව ඇය මෙහිදී කෘතවේදීව සිහිපත් කළාය. සිනමා ක්ෂේත්‍රයේ ජීවිත කාලයටම පිදෙන උපහාරයක් ලෙස ඇය මෙහිදී 'Honorary Golden Bear' සම්මානයෙන් පිදුම් ලැබුවාය.
සම්ප්‍රදායෙන් බැහැරව වැඩ කරන සහ නැගී එන කලාකරුවන්ට බර්ලින් සිනමා උළෙල සැමවිටම විවෘත බව ඇය සිය සම්මානය සුරතින් දරාගෙන හැඟුම්බරව ප්‍රකාශ කළාය.
උළෙල ආරම්භ කරමින් ප්‍රදර්ශනය කෙරුණු "No Good Men" චිත්‍රපටය ද නව හඬවල් සඳහා ඉඩ දීමේ පණිවුඩය තවදුරටත් තහවුරු කළේය. 2021 වසරේ තාලිබාන්වරුන් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමට පෙර කාබුල් නුවර පසුබිම් කරගත් දේශපාලනික රොමැන්ටික් කොමඩි වර්ගයේ චිත්‍රපටයක් වන මෙය 35 හැවිරිදි ඇෆ්ගන් ජාතික අධ්‍යක්ෂිකා ශහ්බානූ සදාත් විසින් නිර්මාණය කරන ලද්දකි.
ලෝක ප්‍රකට තරු හෝ ප්‍රකට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයක් තෝරාගැනීමට වඩා, ප්‍රේක්ෂකයා සිනහවටත් කඳුළටත් පත්කරන මෙවැනි සැබෑ නිර්මාණයක් තෝරාගැනීම තමන් ලද ජයග්‍රහණයක් බව උළෙලේ අධ්‍යක්ෂිකා ට්‍රිසියා ටට්ල් රතු පලස මතදී අදහස් දක්වමින් පැවසුවාය.

මෙවර රතු පලස බෙලා රැම්සේ, නීල් පැට්‍රික් හැරිස් සහ ඩැනියෙල් බෲල් වැනි ජනප්‍රිය නළු නිළියන්ගෙන් වර්ණවත් විය. ග්ලැමර් සහ විලාසිතා වලට පමණක් සීමා නොවූ මෙම අවස්ථාව දේශපාලන ප්‍රකාශ සඳහා ද වේදිකාවක් විය. ඇතැම් පිරිස් ෆැසිස්ට් විරෝධී වැකි ප්‍රදර්ශනය කළ අතර තවත් පිරිසක් ඉරාන ජනතාවට සහය දක්වන පුවරු අතැතිව සිටියහ.
මෙවර සිනමා උළෙලේ ඉහළම ගෞරවය වන 'Golden Bear' සම්මානය පෙබරවාරි 21 වන දින පැවැත්වෙන සමාප්ති උළෙලේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.