බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උළෙල සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව මෙම කලා මංගල්‍යය සංවිධානය කර තිබුණි.
මෙවර උළෙලෙහි සුවිශේෂීම අවස්ථාව වූයේ කලාකරුවෙකුට තම ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමිවන අතිගරු 'නාට්‍ය රත්න' සම්මානය පිරිනැමීමයි. ඒ අනුව මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීම වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවර උදෙසා ප්‍රවීණ නාට්‍යවේදිනී මාලනී රණසිංහ මහත්මිය සහ ප්‍රවීණ නාට්‍යවේදී සිතම්බරනාදන් මහතා මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.
උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි සිංහල සහ දෙමළ භාෂා මාධ්‍ය ද්විත්වයෙන්ම නිර්මාණ ඉදිරිපත් වීම මෙවර උළෙලෙහි කැපී පෙනෙන ලක්ෂණයක් විය.
2025 රාජ්‍ය නාට්‍ය උළෙලෙහි අවසාන වටයට තේරී පත්වූ නාට්‍ය ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් 10 වැනිදා සිට 27 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වූ අතර, එහිදී දක්ෂතා දැක්වූ විශිෂ්ටතම නිර්මාණකරුවන් සහ ශිල්පීන් ඇගයීමට ලක්විය.
සිංහල හා දෙමළ කෙටි හා දිගු නාට්‍ය අංශ යටතේ ජයග්‍රහණය ලැබූ සියලුම කලාකරුවන්ට මෙහිදී උපහාර පිදුණු අතර, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා කැපවීම අනාගත නාට්‍ය කලාවේ උන්නතියට මහත් රුකුලක් වනු නොඅනුමානය.