සිය මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිල සටහනක් තබමින් ඇයගේ දියණිය වන ධම්මිකා වල්පොල මහත්මිය මේ බව තහවුරු කර ඇත. මෑත දින කිහිපය තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකට පත්වෙමින් සිටින බව එම පණිවිඩයේ සඳහන් වේ.
ලතා වල්පොල මහත්මියට ආදරය කරන අතිමහත් රසික පිරිස සහ හිතවතුන් ඇයගේ සුවදුක් බැලීමට පැමිණීමට දක්වන උනන්දුව පිළිබඳව පවුලේ සාමාජිකයන් සිය කෘතඥතාව පළ කර සිටියි. කෙසේ වෙතත්, වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ ඇයට මේ මොහොතේ වැඩි විවේකයක් අවශ්‍ය බවයි. එබැවින් ඇයගේ සුවය වෙනුවෙන් පුද්ගලිකව පැමිණීමෙන් වැළකී සිටින ලෙස ධම්මිකා වල්පොල මහත්මිය සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
ඇය වෙනුවෙන් දක්වන සෙනෙහස සහ ආශිර්වාදය දුරස්ථව සිට ලබාදෙන ලෙසත්, රසික ජනතාවගෙන් ලැබෙන එම ප්‍රාර්ථනාවන් ඇයට ඉක්මන් සුවය ලබා ගැනීමට මහත් ශක්තියක් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. අසීරු අවස්ථාවේදී ඇය කෙරෙහි දක්වන අවබෝධය සහ ආදරය වෙනුවෙන් පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නැවත වරක් ස්තුතිය පුද කර ඇත.