ඒ අතරින් අපේ රටේ තියෙන පර්වත පද්ධතීන් අතර සීගිරිය කියන්නේ ලෝක ප්‍රසිද්ධ තැනක්. ඒක හැමෝම දන්නවනේ. ඒත්, අද අපි කතා කරන්න යන්නේ ඒ සීගිරිය පර්වතයටම සෘජුව පිහිටා තියෙන, ඒ වගේම සීගිරිය ගැන හොඳම දර්ශනය බලාගන්න පුළුවන් අපූරු තැනක් ගැන. ඒ තමයි පිදුරංගල!
සීගිරිය පර්වතයේ හොඳම View එක තියෙන්නේ මෙතන..

සීගිරිය පර්වතය තරම් ප්‍රසිද්ධ නැති වුණාට, ඇත්තටම සීගිරි පර්වතයේ අසමසම දසුනක් අත්විඳින්න ඕන නම්, ඔබ යන්න ඕනේ පිදුරංගල තමයි. පිදුරංගල මුදුනට ගියාම ඈතින් පෙනෙන සීගිරිය පර්වතයේ දසුන මාරම ලස්සනයි. ගොඩක් අය කියන්නේ සීගිරියට වඩා ලස්සනම ඡායාරූපය ගන්න පුළුවන් පිදුරංගලෙන් කියලා.
ඇත්තටම කියනවා නම්, සීගිරිය තරම් සෙනඟක් මෙතන නැති නිසා මේක හරිම නිදහස්, නිස්කලංක අත්දැකීමක්.

පිදුරංගලට වසර දහස් ගණනක් ඈතට විහිදුණු ඉතිහාසයක් තිබෙනවා. මෙහි ඉතිහාසය සීගිරියටත් වඩා අතීතයකට දිවයන අතර ක්‍රි. පූ. දෙවන හා පළමුවන සියවස කාලයේ පටන් පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. ක්‍රි .ව. 477 – 495 අතර කාලයේ දී සීගිරිය සිය පාලන මධ්‍යස්ථානය කරගෙන රජකම් කළ කාශ්‍යප රජු මෙහි විශාල සංඝාවාසයක් හා බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉදිකර එය රහතන් වනහ්සේලාට පූජා කළ බැව පතපොතෙහි දැක්වෙනවා.
පිදුරංගල කියන්නේ මීටර් දෙසීයක් (අඩි 660ක්) විතර උස පර්වතයක්. සීගිරියට වඩා අඩුවෙන් උස වුණාට, මේක නැගීම සීගිරිය තරම් ලේසි නැහැ.

මුලින්ම පටන් ගන්නකොට පාදමේ තියෙන පිදුරංගල සිගිරි රාජ මහා විහාරය හරහා යනකොට ගල් පඩි තියෙනවා. ඒ ටික පහසුවෙන් නගින්න පුළුවන්. ඒ වගේම මෙතන විශාල සැතපෙන බුදු පිළිමයක් තියෙනවා. ඒ පැරණි නටබුන් බලන්නත් පුළුවන්.

පර්වතයේ ඉහළට යන්න තියෙන අවසාන කොටස ටිකක් අමාරුයි. ඒක පඩිපෙළක් නෙවෙයි. විශාල ගල් කුට්ටි සහ පර්වත අතරින් නැගලා, පැනලා, එල්ලීගෙන තමයි යන්න තියෙන්නේ. ඒත්, සාමාන්‍ය ශරීර සුවතාවයක් තියෙන ඕනෑම කෙනෙක්ට විනාඩි 30-45ක් වගේ කාලයකින් මේ ගමන යන්න පුළුවන්. මේක ඇත්තටම ත්‍රාසජනක අත්දැකීමක්.
ඒ නිසාම මේ ගමන එනවා නම් හොඳ ග්‍රිප් එකක් තියෙන සපත්තු (Sneakers/Hiking Boots) දාගෙන එන්න. අනික, උදේ පාන්දර එහෙමත් නැත්නම් හවසට මේක නගින එක තමයි වඩාත් හොඳ. හිරු උදාව හෝ හිරු බැස යන වෙලාවට සීගිරිය දිහා බලාගෙන ඉන්න එකනම් කවදාවත් අමතක වෙන්නේ නැති අත්දැකීමක් වේවි.

යන්න කලින් මතක තියාගන්න ඕන දේවල්
පිදුරංගල නැගීම පටන් ගන්නකොට බෞද්ධ විහාරයක් හරහා යන්න වෙනවා. ඒ නිසා ඒ කොටසේදී උරහිස් සහ දණිස් වැසෙන විදිහට විනීතව ඇඳගෙන යන්න. ගමන පටන් ගන්න තැනදී ඒ සඳහා සළු නොමිලේ ලබාගන්නත් පුළුවන්.
සීගිරියට සාපේක්ෂව පිදුරංගල ටිකට් එක ගොඩක් ලාභයි. විදේශිකයන්ට සාපේක්ෂව අඩු මුදලක් තමයි අය කරන්නේ. මේ මුදල පන්සලට කරන පූජාවක් විදිහට තමයි අය කරන්නේ.
ඔබ හිරු උදාවට හෝ හිරු බැස යෑමට යන්නේ නම්, අනිවාර්යයෙන්ම ටෝච් එකක් (Headlamp/Flashlight) අරගෙන යන්න. අඳුරේදී පර්වතය තරණය කරන්න ලේසි වෙයි.

ඉතින්, ලංකාවේ තියෙන සුන්දරම පර්වත දර්ශනයක් තියෙන, ඒ වගේම ටිකක් ඇඩ්වෙන්චර් අත්දැකීමක් විඳින්න කැමති කෙනෙක්ට, පිදුරංගල තමයි හොඳම තේරීමක්.