මෙම නිවාස ව්‍යාපෘතිය ෂාජා එමීර් රාජ්‍යයේ මාධ්‍ය කවුන්සිලය සහ ෂාජා ජාත්‍යන්තර පුණ්‍යායතනයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූවකි. අදාළ නිවාස පිහිටි ගම්මානයේ සිදුකළ සංචාරයකින් අනතුරුව ෂෙයික් සුල්තාන් තුමන් විසින් නිල වශයෙන් එම නිවාස ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.
අභිනවයෙන් ඉදිකළ සෑම නිවසක්ම විසිත්ත කාමරයකින්, නිදන කාමර දෙකකින්, නාන කාමරයකින් සහ ජල ටැංකියකින් සමන්විත වේ. පවුල්වල දෛනික අවශ්‍යතා සපුරාලමින්, ඔවුන්ට ස්ථාවර සහ ආරක්ෂිත නවාතැනක් තුළ යහපත් ජීවිතයක් සහතික කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව WAM රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
සිය සංචාරය අතරතුර ෂෙයික් සුල්තාන් තුමන් ගම්මානයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම මධ්‍යස්ථානය පරීක්ෂණාගාරයකින්, රෝගීන් වර්ගීකරණ කාමරයකින් සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සපයන ඖෂධ ශාලාවකින් සමන්විතය. ගම්මානයේ කාන්තාවන් මුහුණ දෙන දුෂ්කරතා සැහැල්ලු කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය හරහා නොමිලේ වෛද්‍ය සේවා සැපයේ.
මීට අමතරව, ගම්මානයේ උද්‍යානයේදී දරුවන් හමුවූ ෂෙයික් සුල්තාන් තුමන් ඔවුන් සමග සුහද කතාබහක නිරත විය. මෙම උද්‍යානය අනාථ දරුවන්ගේ විනෝදාස්වාදය සහ ක්‍රීඩා අවශ්‍යතා සඳහා වෙන්කර ඇත.
WAM ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කරන පරිදි, 2012 වසරේ සිට ෂාජා ජාත්‍යන්තර පුණ්‍යායතනය විසින් ශ්‍රී ලංකාව තුළ ගම්මාන හයක් ස්ථාපිත කර තිබේ. ඊට නිවාස 195ක්, කුර්ආන් කටපාඩම් කිරීමේ මධ්‍යස්ථාන දෙකක්, එක් පාසලක්, වෛද්‍ය මධ්‍යස්ථාන තුනක් සහ ළිං තුනක් ඇතුළත් වන අතර, එමගින් පුද්ගලයින් 10,000කට අධික සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇත.