
"කිසිම කාන්තාවක් තමන්ගේ සිහින සීමා කරගන්න එපා"- අනෛශා ප්‍රනාන්දු
අනෛශා ප්‍රනාන්දු ඔබ ගැන කෙටියෙන් කිව්වොත්...
මම සචිනි අනෛශා ප්‍රනාන්දු. දැනට ඉතාලියේ පදිංචි වෙලා ඉන්නේ. මට වයස අවුරුදු 35යි. මගේ හස්බන් වෘත්තීමය බොක්සින් ක්‍රීඩකයෙක්. අපිට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. දුවගේ නම සෙනෝරා ප්‍රනාන්දු. පුතාගේ නම දිමිත්‍රි ප්‍රනාන්දු. ඒ වගේම මට ඉතාලියේ මගේම ව්‍යාපාරයක් තියෙනවා. අනාෆෙර් කියන නමින් ඇඳුම් සන්නාමයක් මම කරගෙන යනවා.
Mrs. International Global තරඟයට සහභාගී වීම ගැන කතා කළොත්?
Mrs. International Global තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට විශාල ගෞරවයක්. මෙම තරඟය පැවැත්වුණේ මැලේසියාවේදී. රටවල් 27ක රූ රැජිණියන් මේ සඳහා සහභාගී වුණා. මම එහිදී දෙවන ස්ථානය දිනාගත්තා. ඒ වගේම මම හැමෝගෙම හදවත් දිනාගත්තා. තරඟය අතරතුර ශ්‍රී ලාංකික සංස්කෘතිය, අපේ ඇඳුම් රටා සහ සම්ප්‍රදායන් ගැන ගොඩක් අය ප්‍රශංසා කළා. හැම දෙනාගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා.
අම්මා කෙනෙක්, බිරිඳක්, ව්‍යාපාරික කාන්තාවක් විදියට මේ හැමදේම සමබරව කළමනාකරණය කරන්නේ කොහොමද?
මේක ඇත්තටම ලේසි නැහැ. මම අම්මා කෙනෙක්, බිරිඳක්, ව්‍යාපාරික කාන්තාවක්. මේ හැම භූමිකාවක්ම හොඳින් පවත්වාගෙන යන ගමන් මම මටම කියලා කාලයක් වෙන්කර ගන්නවා. ඒ හැමදේම කළමනාකරණය කරගන්න මම මගේ උපරිමයෙන් උත්සාහ කරනවා. මට මේ හැමදේටම මගේ පවුලේ අයගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මගේ මහත්තයා තමයි මේ හැමදේම පිටිපස්සෙන් ඉඳලා මාව දිරිගන්වන්නේ. මම අභියෝග වලට මුහුණ දෙන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා කොච්චර කාර්යබහුල වුණත් මම හැමදේම මැනේජ් කරගන්න පුළුවන් වුණා.
ජිවිතේ අමතක නොවන අත්දැකීම් මොනවද?
මම පළවෙනි වතාවට තමයි පවුලෙන් ඇත්වෙලා මැලේසියා වලට ගියේ... ඒ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ..
සිහින සැබෑ කරගැනීමට බිය වන කාන්තාවන් වෙනුවෙන් ඔබට දෙන්න තියන පණිවිඩය කුමක්ද?
මට හැමෝටම කියන්න තියෙන්නේ එකම දෙයයි. "කිසිම කාන්තාවක් තමන්ගේ සිහින සීමා කරගන්න එපා." බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් සිහින දකින්න සහ ඒවා යථාර්ථයක් කරගන්න බය වෙනවා. මම මගේ මේ ගමනෙන් පෙන්වලා දුන්නේ අපි සිහින දකින්නත් ඕනේ, ඒවා හැබෑ කරගන්න උත්සාහ කරන්නත් ඕනේ කියන එකයි.
"ඔයාට උවමනා හරිදෙ කරන්න පසුබට වෙන්න එපා..ඊට හැමොම උදව් කරයි.. ඔයා ඔයාව විශ්වාස කරන්න.. එතකොට ඔයාට අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න පුලුවන් වගේම රැජිනක් වෙන්නත් පුළුවන්..."
ඔබ මීට පෙර මෙවැනි තරඟවලට සහභාගී වෙලා තියෙනවද?
ඔව්, ඉතාලියට ගියාට පස්සේ අවුරුදු 13කට පස්සේ තමයි මේ වගේ තරඟයකට ආපහු සහභාගී වුණේ.
ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
අනාගතයේදී මගේ ව්‍යාපාරය දියුණු කරමින්, තවත් කාන්තාවන්ට ආදර්ශයක් වෙමින්, මගේ පවුල සමඟ සතුටින් ජීවත් වීම තමයි මගේ ප්‍රධාන බලාපොරොත්තුව.
අනෛශා ප්‍රනාන්දුගේ ඉදිරි වැඩකටයුතු වලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!
✍️ නයනාංජලී හේවගේ