වසර දහයක දීර්ඝ කාලයක් පුරා ඉතා සියුම් ලෙස නිම කෙරුණු මෙම දැවැන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 570ක් හෙවත් ස්ටර්ලින් පවුම් මිලියන 437ක අතිවිශාල මුදලක් වැය කර ඇති අතර, එය මුලින් ඇස්තමේන්තු කළ මුදලට වඩා පවුම් මිලියන 100කින් පමණ ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.
ලන්ඩනයේ ස්මිත්ෆීල්ඩ් ප්‍රදේශයේ පිහිටි, 1883 වසරේදී ආරම්භ වී 1990 දශකයේදී වසා දැමුණු පැරණි මස් වෙළෙඳපොළක් නවීන තාක්ෂණය හා කලාත්මක බව මුසු කරමින් ප්‍රතිසංස්කරණය කර මෙම කෞතුකාගාරය ගොඩනගා තිබෙනවා. දශක තුනකටත් වඩා වැඩි කාලයක් නිහඬව පැවති මෙම ඓතිහාසික ගොඩනැගිල්ල යළිත් ජනතාව අතරට පැමිණෙන්නේ ලන්ඩන් නගරයේ සමාජීය, ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් ලෝකයටම සමීප කරන සජීවී මධ්‍යස්ථානයක් ලෙසයි.
මෙම කෞතුකාගාරය තුළට පිවිසෙන ඕනෑම අයෙකුට බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන සිහිගන්වන දුර්ලභ වස්තූන් රැසක් සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවනවා. වික්ටෝරියා රැජින පැළඳි කළු පැහැති ශෝක ඇඳුම, පළමුවැනි චාල්ස් රජු මරණ දඬුවමට ලක් වූ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම මෙන්ම ලෝක ප්‍රකට ලේඛක චාල්ස් ඩිකන්ස් සිය විශිෂ්ට සාහිත්‍ය කෘති රචනා කිරීමට භාවිත කළ බවට සැලකෙන සම් පුටුවද ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා.
සාම්ප්‍රදායික කෞතුකාගාරයකින් ඔබ්බට ගිය නැවුම් අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇති මෙහි, රසවත් ආහාරපාන පිරිනමන අවන්හල්, තෝරාගත් දිනවල පැය 24 පුරාම විවෘතව පවතින කෝපිහල් සහ විවිධ සංස්කෘතික වැඩසටහන්ද ඇතුළත් වනවා.
තවද, තාවකාලික ප්‍රදර්ශන ශාලා සහ අධ්‍යාපන මධ්‍යස්ථානයකින් සමන්විත මෙහි මීළඟ අදියර 2028 වසරේදී විවෘත කිරීමට නියමිත අතර, ලන්ඩනයේ සංචාරය කරන ඕනෑම අයෙකුගේ ගමන් මාර්ගයට එක් කරගත යුතුම සුවිශේෂී ස්ථානයක් ලෙස මෙය නොඅනුමානවම පත්වනු ඇති. තොරතුරු cnn ඇසුරිනි