මෙම අංශය යටතේ ‘Ramayana’ චිත්‍රපටයට තරග වැදීමට සිදුව ඇත්තේ හොලිවුඩයේ සුපිරිතම සිනමා නිර්මාණ රැසක් සමඟ වීම විශේෂත්වයක්. ‘Dune: Part Three’, ‘The Odyssey’, ‘Avengers: Doomsday’, ‘Spider-Man: Brand New Day’ මෙන්ම ‘Project Hail Mary’, ‘Godzilla Minus Zero’, ‘Supergirl’ සහ ‘The Mandalorian and Grogu’ වැනි ලොව පුරා අතිශය ජනප්‍රිය දැවැන්ත චිත්‍රපට ගණනාවක් ද මෙම Top 20 ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටිනවා.
චිත්‍රපටයට මෙතරම් ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීම පිටුපස සිටින තාක්ෂණික කණ්ඩායම ද ඉතා සුවිශේෂී වෙනවා. ‘Ramayana’ චිත්‍රපටයේ විස්මිත දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය සඳහා ලොව ප්රමුඛ පෙළේ VFX සමාගමක් වන DNEG ආයතනය සිය දායකත්වය ලබා දී තිබෙනවා. මීට පෙර ‘Inception’, ‘Interstellar’, ‘Blade Runner 2049’ සහ ‘Dune’ වැනි විශිෂ්ට චිත්‍රපට සඳහා ඔස්කාර් සම්මාන පවා දිනාගත් DNEG සමාගමේ අත්දැකීම් මෙම නිර්මාණය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ප්‍රබල පිටිවහලක් වී ඇති බව නොඅනුමානයි.
කෙසේ වෙතත්, මෙම Top 20 අදියර යනු ඔස්කාර් නාමයෝජනාවක් හෝ අවසන් ජයග්‍රහණයක් නොවන අතර, ඉදිරි ඡන්ද විමසීමෙන් අනතුරුව චිත්‍රපට 10කින් සමන්විත නිල කෙටි ලැයිස්තුව 2026 දෙසැම්බර් 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉන්පසුව 2027 ජනවාරි 21 වැනිදා අවසන් ඔස්කාර් නාමයෝජනා ප්‍රකාශයට පත් කෙරෙන අතර, 99 වැනි ඔස්කාර් සම්මාන උළෙල 2027 මාර්තු 14 වැනිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා. මීට අමතරව 2027 Critics Choice Awards සම්මාන උළෙලේ Best Visual Effects සහ Best Stunt Design යන අංශ දෙකේම කෙටි ලැයිස්තු සඳහා ද ‘Ramayana’ චිත්‍රපටය තේරී පත්ව තිබෙනවා.
මීට පෙර ඉන්දියාවේ ‘RRR’ චිත්‍රපටය ද ඔස්කාර් දෘශ්‍ය ප්‍රයෝග අංශයේ Top 20 අතරට පැමිණීමට සමත් වුවත්, එම අංශයේ අවසන් නාමයෝජනා අතරට පිවිසීමට එයට හැකි වුණේ නැහැ. පසුව ‘Naatu Naatu’ ගීතය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් දිනා ගනිමින් RRR ඉතිහාසගත වුණා. එබැවින් ‘RRR’ චිත්‍රපටයට නතර වූ තැනින් ඉදිරියට යමින්, දෘශ්‍ය ප්‍රයෝග අංශයෙන් අවසන් ඔස්කාර් නාමයෝජනා අතරට පිවිසීමට ‘Ramayana’ චිත්‍රපටයට හැකිවේදැයි ලොව පුරා සිනමා ලෝලීන් දැඩි අවධානයෙන් බලා සිටිනවා.