එහිදී ලොව පුරා රූ රැජිනියන් අභිබවමින් 2026 මිස් යුනිවර්ස් කිරුළ තමන් සතු කර ගැනීමට සත්කාරක පුවර්ටෝ රිකෝ රාජ්‍යය නියෝජනය කළ ජෙනිෆර් බැරෙටෝ (Jennifer Barreto) සමත් වුණා. දියමන්ති 3,150කින් අලංකාර වූ 'The Radiance of Eternal Legacy' නමැති කිරුළ ඇයට පිරිනමා තිබෙනවා.
ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ තරගකාරිය මෙහි පළමු අනුශූරිය ලෙස අභිෂේක ලැබූ අතර, ජෙනිෆර්ගේ මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ඇය ඉදිරි වසරක කාලය පුරා ජාත්‍යන්තර මට්ටමේ සමාජ සේවා සහ විවිධ වැඩසටහන් සමඟ එක්වෙමින් ලෝකයට නව ආලෝකයක් එක් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙවර තරගාවලිය ජයග්‍රහණයේ උණුසුමට පමණක් සීමා නොවී, වේදිකාව පිටුපස සිදුවූ උණුසුම් සිදුවීම් කිහිපයක් නිසාත් ලෝක අවධානයට ලක් වුණා. විශේෂයෙන්ම තරගාවලියේ හිමිකාරිත්වය සම්බන්ධ ගැටලු, විනිශ්චය ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ මතු වූ සැක සංකා සහ තරගකාරිනියන් කිහිපදෙනෙකු තරගයෙන් ඉවත් කිරීම වැනි කාරණා නිසා මෙවර තරගාවලියට දැඩි විවේචන එල්ල වූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.
පසුගිය වසරේ තායිලන්තයේ පැවති තරගාවලියේදීත් විනිශ්චය මණ්ඩලයේ ඉල්ලා අස්වීම් සහ ප්‍රතිඵල පිළිබඳ විරෝධතා මතු වූ පසුබිමක, මෙවරත් එවැනිම මතභේදාත්මක තත්ත්වයන් ඇති වීම බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.
1952 වසරේදී ආරම්භ වූ මිස් යුනිවර්ස් තරගාවලිය, කාලයත් සමඟ විලාසිතා, සුන්දරත්වය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ලොව ජනප්‍රියතම වේදිකාව බවට පත් වුණා. විවිධ මතභේද සහ අභියෝග මධ්‍යයේ වුවද, ජෙනිෆර් බැරෙටෝ දිනාගත් මෙම 75 වැනි සංවත්සර කිරුළ පුවර්ටෝ රිකෝ ඉතිහාසයට මෙන්ම ලෝක රූ රැජින ඉතිහාසයටත් අමතක නොවන මතකයක් එක් කර තිබෙනවා.