‘Ceylon Craft Week 2026’ හි ප්‍රධාන විශේෂාංගයක් ලෙස කරළියට පැමිණි මෙම විලාසිතා දැක්ම සඳහා දක්ෂ ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් 32 දෙනෙකුගේ අසමසම නිර්මාණ එක්කර තිබෙනවා. මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට නවීන විලාසිතා ලෝකය සමඟ අත්වැල් බැඳගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට ඇති අපූරු හැකියාව මෙහිදී මනාව ප්‍රදර්ශනය කෙරුණා.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද සහභාගී වුණා.
ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද මෙම සුවිශේෂී ‘Ceylon Craft Week 2026’ වැඩසටහන මෙවර අප රටට හඳුන්වා දී තිබෙන්නේ දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වඩාත් නව්‍ය දැක්මක් යටතේ ඉදිරියට ඔසවා තැබීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් වශයෙනි. ඒ යටතේ විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනයක්, නව හස්ත කර්මාන්ත හඳුන්වාදීමක්, ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ ඉදිරිපත් කිරීමක් මෙන්ම මෙම විලාසිතා දැක්ම ඇතුළු ආකර්ෂණීය අංග රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම අතිශය වර්ණවත් ‘Ceylon Craft Runway ’26’ විලාසිතා දැක්ම සඳහා ස්වර්ණාභරණ, දැව නිර්මාණ, පිඟන් මැටි, පිත්තල හා රිදී නිර්මාණ, වේවැල් හා ලාක්ෂා නිෂ්පාදන, මෝස්තර සහිත බෑග් ඇතුළු උපාංග, පන් සහ කොළ ආශ්‍රිත නිෂ්පාදන, තල් නිර්මාණ, සම් නිෂ්පාදන මෙන්ම අපූරු පරිසර මුද්‍රණ කලාව (Eco Printing), බතික්, අතින් සිතුවම් කළ ඇඳුම්, සංකීර්ණ බීරළු ලේස් සහ සියුම් දැව කැටයම් ඇතුළු විවිධ හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන අපූරු නිර්මාණ රැසක් එකතු වී තිබෙනවා.
විශේෂයෙන්ම, මෙම විලාසිතා දැක්ම සඳහා අවශ්‍ය ඇඳුම් නිර්මාණ තෝරාගැනීම, අලංකාර උපාංග සැලසුම් කිරීම, ඇඳුම් මෝස්තර හැඩගැන්වීම සහ වේදිකාව මත ඉදිරිපත් කිරීමේ පෙළගැස්ම ඉතා වෘත්තීය මට්ටමින් සකස් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණ ඉංජිනේරු අධ්‍යයනාංශයේ විලාසිතා නිර්මාණ හා නිෂ්පාදන සංවර්ධන අංශයෙන් අනගි දායකත්වයක් ලබා දී තිබෙනවා.