ads
Lifestyle

යෞවන වියේ මානසික සෞඛ්‍යයට පලතුරු වලින් ලැබෙන අපූරු රැකවරණය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
වර්තමාන වේගවත් ජීවන රටාවත් සමඟ යොවුන් වියේ පසුවන්නන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත්, අප ගන්නා දෛනික ආහාර වේල සහ මානසික සෞඛ්‍යය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින බව පෙන්වා දෙන නවතම පර්යේෂණයක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම මඟින් යෞවනයන් අතර ඇතිවන මානසික අවපීඩනය (Depression) සහ කාංසාව (Anxiety) වැනි තත්ත්වයන්ගේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරගත හැකි බව මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා.

සිඩ්නි විශ්වවිද්‍යාලයේ විශාල පරිමාණයේ දීර්ඝකාලීන නිරීක්ෂණයක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ (University of Sydney) පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද මෙම අධ්‍යයනය සඳහා නිව් සවුත් වේල්ස් (New South Wales), ක්වීන්ස්ලන්ඩ් (Queensland) සහ බටහිර ඕස්ට්‍රේලියාව (Western Australia) යන ප්‍රාන්තවල ද්විතීයික පාසල් 71ක ඉගෙනුම ලබන යෞවනයන් 6,537 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණය කර තිබෙනවා. 

වසර තුනක කාලයක් පුරා මෙම සිසුන්ගේ ආහාර පුරුදු සහ මානසික සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කර ඇති අතර, අධ්‍යයනය ආරම්භයේදී මානසික අවපීඩනය හෝ කාංසාවේ ඉහළ රෝග ලක්ෂණ නොතිබූ පිරිසක් පමණක් මීට යොදාගැනීම විශේෂත්වයක්.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දිනකට අමතර පලතුරු කොටසක් (Extra portion of fruit) තම දෛනික ආහාර වේලට එකතු කරගැනීම මඟින්, පසුව මානසික අවපීඩන ලක්ෂණ ඇතිවීමේ අවදානම 13%කින් සහ කාංසාවේ ලක්ෂණ ඇතිවීමේ අවදානම 7%කින් අඩු වන බවයි. 

සීනි සහිත බීම වර්ග මානසික සෞඛ්‍යයට එල්ල කරන තර්ජනය

පලතුරු ආහාරයට ගැනීමේ යහපත් බලපෑමට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් සීනි අධික බීම වර්ග පානය කිරීමෙන් ලැබෙන බව මෙම අධ්‍යයනයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. සීනි අධික සිසිල් බීම සහ වෙනත් පැණි බීම වැඩිපුර පානය කිරීමට හුරු වී සිටින යෞවනයන් අතර මානසික අවපීඩනය සහ කාංසාව ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව ඔස්ට්‍රේලියන් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. 

කෙසේ වෙතත්, පලතුරු ආහාරයට ගැනීමෙන් පමණක් මානසික සෞඛ්‍ය ගැටලු සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි බව මෙම අධ්‍යයනයෙන් තහවුරු කර නැහැ. නමුත්, අප ගන්නා දෛනික ආහාර රටාව සහ යෞවනයන්ගේ මානසික සෞඛ්‍යය අතර පවතින ප්‍රබල සම්බන්ධය පිළිබඳව නැවත වරක් සිහිපත් කිරීමට මෙම පර්යේෂණය සමත් වී තිබෙනවා. 

0%
0%
0%
0%
Comments