ads
Lifestyle

මිනිස් මුහුණේ හැඟීම් කියවීමට ඔබේ සුරතලාට ඇති අපූරු හැකියාව ගැන ඔබ දන්නවාද ?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සුරතල් සුනඛයන් අපේ මුහුණේ ඉරියව් දෙස බලා අපේ හැඟීම් තේරුම් ගැනීමට දක්ෂ බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත්, මෑතකදී වියට්නාම් විශ්වවිද්‍යාලයේ (University of Vienna) පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ, මිනිසුන්ගේ මුහුණුවල මූලික හැඟීම් මෙන්ම විවිධ සූක්ෂම හැඟීම් පවා වෙන්කර හඳුනා ගැනීමට සුනඛයන්ගෙ මොළයට විශේෂ හැකියාවක් තිබෙන බවයි.

මෙම අපූරු පර්යේෂණය සඳහා බල්ලන් 12 දෙනෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය ස්කෑන් කර පරීක්ෂා කර තිබෙන අතර, එහිදී ඔවුන්ට විවිධ හැඟීම් ප්‍රකාශ වන මිනිස් මුහුණු ආකෘති පෙන්වා ඇත.

පර්යේෂකයන්ට අනුව, නුහුරු මිනිසෙකුගේ සිනහමුසු මුහුණක් දුටු විට බල්ලාගේ මොළයේ ඉහළ සංජානන ක්‍රියාකාරිත්වයට සහ ත්‍යාග සැකසීමට (reward processing) සම්බන්ධ ප්‍රදේශ – එනම් තාවකාලික කෝටෙක්ස් (temporal cortex) සහ කේඩේට් න්‍යෂ්ටිය (caudate nucleus) වැනි කොටස් සක්‍රීය වන බව සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, කෝපය, බිය සහ දුක වැනි සෘණාත්මක හැඟීම් එම විශේෂිත ප්‍රදේශ උත්තේජනය කර නැත.

එහෙත්, සුනඛයාගේ මුළු මොළයම පරීක්ෂා කර බලන විට, බිය, කෝපය සහ දුක යන හැඟීම් එකිනෙකින් වෙන්කර හඳුනාගත හැකි වෙනස් මොළයේ ක්‍රියාකාරී රටාවන් එහි පවතින බව පර්යේෂකයෝ තහවුරු කර ඇත. මිනිසුන්ගේ සෘණාත්මක මුහුණු ඉරියව්වල ඇති වෙනස්කම් නිවැරදිව හඳුනාගත හැකි බවට විද්‍යාත්මකව අනාවරණය වූ පළමු අවස්ථාව මෙය වේ.

"මිනිසුන් වන අප සමඟ සමීපව මිශ්‍ර වෙමින්, අපේ ඉරියව් තේරුම් ගැනීමට සහ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුනඛයන්  පරිණාමය වී තිබෙනවා. මෙය වටහා ගැනීමෙන් අප ඔවුන් සමඟ සන්නිවේදනය කරන ආකාරය සහ ඔවුන් රැකබලා ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරගත හැකියි" යනුවෙන් මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක ලෝරා කුයා (Laura Cuaya) සඳහන් කරයි.

ආදරණීය පවුල්වල හැදෙන වැඩෙන සුරතල් සුනඛයන්  යොදාගනිමින් මෙම පර්යේෂණය සිදු කර ඇති බැවින්, වෙනත් පරිසරවල ගැවසෙන සුනඛයන් මීට වඩා වෙනස් ලෙස ප්‍රතිචාර දැක්විය හැකි බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. ඉදිරියේදී සුනඛයන් මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට ශරීර භාෂාව, කටහඬේ ස්වරය සහ සුවඳ වැනි අනෙකුත් සංඥාද කෙසේ භාවිතා කරන්නේද යන්න පිළිබඳව වැඩිදුර පර්යේෂණ කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.

0%
0%
0%
0%
Comments