රන්සිළු, ඔබ මේ ක්‍රීඩාවට පිවිසුණු ආකාරය ගැන අපට මුලින්ම කියන්න?
මම මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කෙනෙක්. මම මුලින්ම බර එසවීමේ තරග ඉසව් ආරම්භ කළේ වයස අවුරුදු 7දී. මේ ගමනට මට මූලික මග පෙන්වීම ලැබුණේ මගේ පියාගෙන්. එතුමා දක්ෂ බර එසවීමේ ශූරයෙක් වූ මොතිලාල් ජයතිලක මහතායි.

ඔබේ ක්‍රීඩා දිවියේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ගැන මතක් කළොත්?
මම වයස අවුරුදු 13දී තමයි මගේ පළමු ජාත්‍යන්තර පදක්කම දිනාගත්තේ. ඒ වයසේදීම එම වයස් කාණ්ඩයේ ජාතික වාර්තාව බිඳ දැමීමට මට හැකි වුණා. එතැන් පටන් අද දක්වා වසර 33ක් පුරාවටම මම ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. මම 2017 වසරේ සිට ආසියානු වාර්තාවක් (Asian Deadlift - 322kg) දරනවා. මීට අමතරව ආසියානු ශූරතා (Asia Pacific) තුනක් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය (Commonwealth) ශූරතා තුනක් දිනා තිබෙනවා. පසුගිය වසර 25 පුරාවටම ශ්‍රී ලංකාවේ ජාතික ශූරයා වෙන්නත් මට හැකියාව ලැබුණා.
මෑතකදී ඇමරිකාවේ පැවති 'ආර්නෝල්ඩ් ස්පෝට්ස් ෆෙස්ටිවල්' ජයග්‍රහණය ගැනත් මතක් කළොත්?
මෙය වසර 38ක් පුරා ඇමරිකාවේ පැවැත්වෙන ලොව ප්‍රධානතම තරගාවලියයි. මෙයට සහභාගී වන්නේ ලෝකයේ ඉහළම ක්‍රීඩකයන් පමණයි. එම තරගාවලියට ආරාධනාවක් ලැබීමම ලොකු දෙයක්. මම පදක්කමක් දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් ගියත්, රන් පදක්කමක් දිනන්න පුළුවන් වේවි කියලා හිතුවේ නැහැ. එහිදී මම කිලෝ ග්‍රෑම් 320ක් එසවූවා. ඇමරිකානු ක්‍රීඩකයා කිලෝ 317ක් එසවූවා. අවසානයේ රන් පදක්කම දිනාගන්න මට හැකි වුණා.

ඔබේ පෞද්ගලික ජීවිතය සහ වෘත්තීය ජීවිතය පිළිබඳව කෙටියෙන් සඳහන් කළොත්?
මම විවාහකයි, මට දුවෙක් ඉන්නවා. මම දැනට ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ කාය යෝග්‍යතා උපදේශකවරයා ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ජිම් එකක් පවත්වාගෙන යනවා.
රන්සිළු ජයතිලකගේ මෙම කැපවීම සහ ජයග්‍රහණ අනාගත පරපුරට විශාල ආදර්ශයකි. ඔහුගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක වේවායි Ziradaily අපි ප්‍රාර්ථනා කරමු.
✍️ නයනාංජලී හේවගේ