ads
Feature

ශ්‍රී ලංකා නාමය බබළවන මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
කීර්තිමත් මොනාකෝ ධාවන පථයේ පැවැති FIA ෆෝමියුලා 3 තරගාවලිය සඳහා ප්‍රථම වරට සහභාගී වූ ශ්‍රී ලංකාවේ 19 හැවිරිදි යොවුන් ධාවන සූර යෙවාන් ඩේවිඩ් , ජාත්‍යන්තර මෝටර් රථ ක්‍රීඩා විචාරකයින්ගේ සහ ලෝකවාසී ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

පටු සහ අතිශය දුෂ්කර මොනාකෝ ධාවන පථය තුළ මෙවර තරග බොහෝ දුරට පසුකර යාම් රහිත, මන්දගාමී ස්වභාවයක් ගත් බව මෝටර් රථ විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, AIX Racing කණ්ඩායම නියෝජනය කරමින් 23 වැනි ස්ථානයෙන් තරගය ආරම්භ කළ ද, යෙවාන් ඩේවිඩ් ධාවන පථය පුරා දැක්වූ අතිශය නිර්භීත ධාවන විලාසය සහ ප්‍රතිවාදීන් පසුකර යාමට සිදුකළ සුවිශේෂී උත්සාහයන් හේතුවෙන් සමස්ත තරගයටම සජීවී බවක් සහ ප්‍රාණවත් බවක් එක් කිරීමට ඔහුට හැකි වුණා. 

ජාත්‍යන්තර මෝටර් රථ ක්‍රීඩා පිටුවල සටහන් වන පරිදි, "මොනාකෝ හි පැවැති මෙම තරගාවලියට යම් වර්ණවත් බවක් එක්කළ එකම ක්‍රීඩකයා යෙවාන් ඩේවිඩ්" බවයි විචාරකයින් පවසන්නේ. කණ්ඩායම් මට්ටමින් මෝටර් රථයේ වේගය උපරිම ලෙස ප්‍රදර්ශනය කිරීමට යම් බාධා පැවතියද, තමන් සතු සහජ දක්ෂතාවය ලෝකය හමුවේ තැබීමට ලාංකීය සුපිරි තරුව සමත් වී තිබෙනවා.

මේ වන විට ජාත්‍යන්තර තලයේ ලාංකීය නාමය ඉහළින්ම තබන්නට සමත් වී සිටින යෙවාන් ඩේවිඩ්, ෆෝමියුලා 3 තරගාවලියකට එක් වූ පළමු සහ එකම ශ්‍රී ලාංකික ධාවන ශූරයා ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා. කුඩා කාලයේ සිටම මෝටර් රථ ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ ඔහු, මීට පෙර පැවැති Euroformula Open තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් එහි දෙවැනි ස්ථානය (Vice-champion) දිනා ගැනීමට සමත් වූ සුපිරි තරුවක්. 

ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙවැනි දැවැන්ත ජයග්‍රහණ ලබන අතරතුර, යෙවාන් සිය අධ්‍යාපන කටයුතු ද සමබරව ඉදිරියටම රැගෙන යාමට සමත් වීම තාරුණ්‍යයට කදිම ආදර්ශයක් සපයනවා. ඉහළ ආත්මවිශ්වාසයකින් සහ මනා කැපවීමකින් යුතුව ධාවන පථයට පිවිසෙන යෙවාන්ට ඉදිරි තරගාවලිවලදී පෙරමුණටම පැමිණීමට විශාල අවස්ථාවක් පවතින බව ද ජාත්‍යන්තර මාධ්‍ය විශ්වාසය පළ කරනවා.

0%
0%
0%
0%
Comments