ads
Lifestyle

මාරාන්තික ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙන්න

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන පරිදි, මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ජුනි 05 වැනිදා දක්වා වූ කෙටි කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 36,168ක් වාර්තා වී තිබෙනවා. වර්තමානයේ පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඉදිරි දිනවලදී මේ තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙන්නේ.

දැනට පවතින දත්ත අනුව කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කල්මුනේ සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන්, ලබන ජුනි 08, 09 සහ 10 යන දිනවලදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වෙච්ඡා සංවිධාන එක්ව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා.

ඩෙංගු රෝගය පතුරවන 'ඊඩිස් ඊජිප්ටයි' සහ 'ඊඩ්ස් ඇල්බොපික්ටස්' යන මදුරු විශේෂ දෙකම බෝ වෙන්නේ අප අවට තිබෙන පිරිසිදු ජලය රැඳුණු ස්ථානවලයි. ඒ නිසා සතියකට විනාඩි 30ක් වැනි සුළු කාලයක් වෙන් කර, නිවස සහ අවට පරිශ්‍රයේ වතුර රැඳෙන තැන් පිරිසිදු කිරීමට පුරුදු වන්න. සෙල්ලම් බඩු, පරණ ටයර්, ප්ලාස්ටික් බඳුන්, පොල්කටු වැනි දෑ ක්‍රමවත්ව බැහැර කිරීමෙන් මදුරුවන් බෝවීම සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකියි.

මීට අමතරව, ඩෙංගු මදුරුවන් වැඩිපුරම දෂ්ට කරන්නේ උදේ සහ සවස් කාලයේ බැවින්, ඒ පිළිබඳවද දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි. මේ කාල සීමාවන් තුළදී ශරීරය හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම සහ රජය විසින් අනුමත කරන ලද මදුරු විකර්ශක  භාවිත කිරීම මඟින් ඔබටත් ඔබේ පවුලේ අයටත් ආරක්ෂාව සැලසිය හැකියි.

මේ ලක්ෂණ තිබේ නම් ප්‍රවේසම් වන්න: වෛද්‍ය උපදෙස් පිළිපදින්න

ඔබට හෝ ඔබේ හිතවතෙකුට තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමේ රතු පැහැ ලප හටගැනීම හෝ රුධිර වහන තත්ත්වයන් පවතී නම්, එය කිසිසේත්ම සුළුවෙන් තකන්න එපා. මෙවැනි ලක්ෂණ මතු වූ වහාම ළඟම ඇති රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට මතක තබා ගන්න.

එමෙන්ම කිසියම් අයෙකුට තද උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස්වලින් තොරව පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකරන්න.

0%
0%
0%
0%
Comments